මිනුවන්ගොඩ කොල්ලයේ සැකකරුවෙක් ඩුබායි පැනලා

මිනුවන්ගොඩ කොල්ලයේ සැකකරුවෙක් ඩුබායි පැනලා

November 28, 2024   01:07 pm

මිනුවන්ගොඩදී පෞද්ගලික මූල්‍ය ආයතනයකට අයත් රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඩුබායි රාජ්‍යයට පළාගොස් තිබේ.

මේ බව අනාවරණ වී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදීය. 

ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙකු මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර රුපියල් කෝටි හතහමාරකට අධික මුදලක් රැගෙන පළාගොස් තිබුණේ ඉකුත් නොවැම්බර් 18 වෙනිදාය.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 03 දෙනෙකු අවස්ථා දෙකකදී අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සතුව තිබී රුපියල් තුන්කෝටි 55 ලක්ෂයකට අධික මුදලක්ද සොයා ගැනුණි.

ඒ අනුව ඊයේ (27) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇත්තේ සොරකම් කරන ලද මුදල් අධික ලෙස ගණිකාවන් ඇසුරුකිරීම සඳහා වියදම් කළ බවය. 

එසේම, කොල්ලයට සම්බන්ධ තවත් සැකකරුවෙකු පසුගිය 23 වැනිදා ඩුබායි රාජ්‍ය වෙත පළාගොස් ඇති බව ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අනාවරණ කරගෙන තිබුණි.

ඔහු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ කොල්ලයෙන් පසු ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් තමන් නොදන්නා බවය. 

කෙසේ වෙතත්, තරිඳු පෙරේරා නැමැති එම සැකකරු යතුරු පැදියකින් මුදල් බෑගයක්ද රැගෙන පලායන අයුරු CCTVකැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.