ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF ප්‍රධානියාගෙන් ඇගයීමක්‍

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF ප්‍රධානියාගෙන් ඇගයීමක්‍

November 27, 2024   07:58 am

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්රිස්ටලීනා ජෝර්ජිඒවා විසින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. 

ඇය පවසන්නේ ශ්‍රී ලංකා බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව බලාපොරොත්තු සහගත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවය.

එමඟින් ණය තිරසරබව ඇතිකර ගැනීම, වඩාත් පුළුල් සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීම මෙන්ම, ආර්ථිකය වඩාත් හොඳින් පාලනය සහ විනිවිඳබව ඇතිකරගැනීමට සැලසුම් කෙරෙයි.

2023 මාර්තු 20 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය පහසුකමක් අනුමත කළේය.

මාස 48ක් සඳහා එම වැඩසටහන ක්‍රියාත්මකය.

එසේම මෙරට බලධාරීන් මාස ගණනක් ප්‍රගතිශීලී සාකච්ඡාවලින් අනතුරුව බැඳුම්කරහිමියන් සමග ඇතිකරගත් එකඟතාවයද IMF ප්‍රධානියාගේ පැසසුමට ලක්වී තිබුණි.

"ණය ක්‍රියාවලිය, ණයහිමියන්ගේ වැඩි සහභාගීත්වයකින් ඉක්මණින් අවසන් කර ගැනීම එම වැඩසටහනේ සාර්ථකත්වයට වැදගත් වෙයි. ඒ හා සමානව ඉතිරිව ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ එකඟතා අවසන්කර ගැනීමට බලධාරීන් කටයුතු කරමින් පවතියි. මෙම සාමුහික ප්‍රයත්නයන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ සාර්ථකත්වයට වැදගත් වෙයි."

"ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යමින් ආර්ථිකය තිරසාර සහ ඉහළ වර්ධනයක පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා බලධාරීන් ඔවුන්ගේ කැපවීම පෙන්වා තිබේ."

ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, "ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජීය ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොවෙනස්වන සහායකයෙක් ලෙස ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට උදව් කරනවා," යනුවෙනි.