මල්වතු මහානායක හිමි ඉදිරියේ දිලිත් දුන් පොරොන්දුව

මල්වතු මහානායක හිමි ඉදිරියේ දිලිත් දුන් පොරොන්දුව

November 22, 2024   01:50 pm

හැමදේටම විරුද්ධවෙන ක්‍රමය වෙනස් කර ප්‍රබුද්ධ සම්ප්‍රදායක් පාර්ලිමේන්තුව තුළ ඇති කළයුතු බව සර්වජන බලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැදුටු අවස්ථාවේදී දිලිත් ජයවීර මහතා මේ බව පැවසීය.

සර්වජන බලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද (22) මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය.

එම අවස්ථාවට සර්වජන බලයේ සභාපති රොෂාන් රණසිංහ, ජාතික සංවිධායක දිලුම් අමුණුගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්විය.

අනතුරුව දිලිත් ජයවීර මහතා ප්‍රමුඛ පිරිස මල්වතු මහාවිහාරයට ගොස් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,

"අභිලාෂය සහ සද්භාවය විතරයි වෙනස. ඉතිං අපි බලාගෙන ඉන්නවා කාලයට අවස්ථාව දීලා. මෙවර තිබුණේ වෙනම තත්ත්වයක්. අපි දිගින් දිගටම කිව්වේ... මේ සම්ප්‍රදාය වෙනස් කරන්න ඕනේ කියලා. විරුද්ධ පක්ෂ සම්ප්‍රදායත් වෙනස් කරන්න ඕනේ. හැමදේටම විරුද්ධ වෙන එක නොකර...හොඳ ප්‍රබුද්ධ සම්ප්‍රදායක් ඇති කරන්න ඕනේ. ඒ මතයේ ඉඳන් තමයි අපි වැඩ කරන්නේ. අනිත් එක අපේ ජාතිකත්වය රැකගැනීම ඉතාම වැදගත්. මොනම රටක්වත් දියුණු වෙලා නැහැනේ ජාතිකත්වයෙන් තොරව."