පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා - අගමැතිනිය

පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා - අගමැතිනිය

November 20, 2024   04:15 pm

ඉදිරි පුනරුද යුගයට ගැලපෙන පුරවැසියන් බිහිකිරීමට සමත්, සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැපවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

ඉසුරුපායේදී අද (20) අභිනව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය අමාත්‍ය ධුරයේ භාර ගනිමින් ඇය මේ බව පෙන්වා දුන්නාය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ, අධ්‍යාපනය වැනි විෂයක් සම්බන්ධ අමාත්‍ය ධුරයක් භාරගැනීමට ලැබීම සම්බන්ධව තමන් නිහතමානීව සතුටු වන බවයි.

එම විෂයේ පවත්නා භාරදූරභාවය තමන් මැනවින් අවබෝධ කරගෙන සිටින බවද ඇය පැවසුවාය.

නව රජයේ ප්‍රතිපත්ති අනුව ඉහළ ප්‍රමුඛත්වයක් අධ්‍යාපනයට ලබා දී ඇති අතර, පාසල් අධ්‍යාපනය නිසි ක්‍රමික රටාවකට හා කාලසටහනකට අනුව සාර්ථකව ක්‍රියාත්මක කළ යුතු බවද පැවසුවාය. 

දරුවන්ට සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි පරිසරයක් සකස් කර දිය යුතු බවත්, ඊට අවශ්‍ය වන පරිදි වර්තමානයේ අධ්‍යාපන ක‍්ෂේත්‍රය තුළ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය.

කෙසේ නමුත් ඒ සියලු දෙනාගේ නොමඳ සහාය ඊට අත්‍යවශ්‍ය බව ඇය වැඩිදුරටත් පැවැසුවාය.

මේ අතර අද දිනයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කේ. එම්. ජී. එස්. එන්. කලුවැව මහතාද සිය ධුරයේ වැඩ භාරගත් ගත්තේය.