රෆායල් නඩාල් ටෙනිස් පිටියට සමුදෙයි 

November 20, 2024   12:39 pm

ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම ටෙනිස් ක්‍රීඩකයෙක් වන ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් ඊයේ (19) සුවහසක් ක්‍රීඩාලෝලීන්ගේ ආචාර මැද ටෙනිස් පිටියෙන් සමුගත්තේය.

ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ නඩාල් සහභාගීවූ අවසන් ටෙනිස් තරගයේදී පරාජයක් වැළඳ ගැනීමට සිදුවීම කනගාටුවට කරුණකි.

සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ගේ අවසන් ටෙනිස් සටන දැක බලා ගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් දස දහස් සංඛ්‍යාවක් ස්පාඤ්ඤයෛ් මලාගා නුවරට රැස්ව සිටියහ.

එහිදි සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ගේ සමුගැනීමේ සාදය ජයග්‍රහණයකින් අවසන් කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩකයා අවස්ථාව ලබා දුන්නේ නැත.

නෙදර්ලන්ත ක්‍රීඩකයා හමුවේ වට දෙකට බින්දුවක් ලෙස පරාජය වු නඩාල් සිය ක්‍රීඩා දිවියෙන් සමු ගත්තේය.

එතෙක් මෙතෙක් ටෙනිස් පිටියේ ස්වර්ණමය යුගයක් නිර්මාණය කිරීමට දායක වු ස්පාඤ්ඤයේ නඩාල් වෙනුවෙන් අයිෆල් කුළුනද හැඩ ගැන්වී තිබුණේ ඔහුගේ ටෙනිස් දිවියේදී ලැබු ජයග්‍රහණ වෙනුවෙන් කෘතගුණ දැක්වීම සඳහා ය.

නඩාල් 22  වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ජයග්‍රහණය කර ඇති අතර ස්වාභාවික මැටි ටෙනිස් පිටියේ රජු නොහොත් "කිං ඔෆ් ක්ලේ" ලෙස නඩාල්ව හඳුන්වයි.

ඒ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ සාර්ථකම ටෙනිස් ක්‍රීඩකයා වන්නේ නඩාල් නිසා ය.

ඔහු දිනාගෙන ඇති ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතා ගණන 14කි.

එකම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවක් අවස්ථා 14කදී ජයගෙන ඇත්තේ නඩාල් පමණි.

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා ලෙස අවස්ථා 5කදී වසර අවසන් කළ නඩාල් ලෝක ශූරතා ටෙනිස් තරග බිමේ සාර්ථකම ටෙනිස් ක්‍රීඩකයා ලෙස හැඳින්වෙයි.

ඒ අනුව ටෙනිස් පිටියේ ක්‍රීඩාලෝලීන් ගේ ආදරය දිනා ගත් රොජර් ෆෙඩරර්,රෆායල් නඩාල් සහ නොවැක් ජොකොවිච් අතුරින් මේ වනවිට ක්‍රියාශීලිව ටෙනිස් පිටියේ රැඳී සිටින්නේ ජොකොවිච් පමණි.