පාසල් සිසුවෙක් ධාවනය කළ ත්‍රිරෝද රථය බිහිසුණු අනතුරක
November 19, 2024 09:52 am
පාසල් සිසුවෙකු ධාවනය කළ ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරළීමෙන් ත්‍රිරෝද රථයේ පැදවූ සිසුවා ඇතුළු තවත් සිසුන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ සිසුන් කඩිනමින් නාවලපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බව ගිනිගත්හේන පොලීසිය පැවසීය.
අනතුර සිදුව ඇත්තේ ඊයේ (18) දින පස්වරු 5ට පමණ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පුස්තකාලය අසලදීය.
අනතුරෙන් තුවාල ලබා ඇත්තේ ගිනිගත්හේන කඩවල දමිළ මහා විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් පිරිසකි.
පාසලේ පැවති උත්සවයකින් අනතුරුව එම සිසුන් සිව්දෙනා ත්‍රිරෝද රථයෙන් නිවෙස් කරා ගමන් කරමින් සිටියදී අනතුර සිදුව තිබුණි.
වංගුවක් සහිත ප්‍රදේශයේදී එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වු වෑන් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කිරීමට උත්සාහ දැරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලංගම බස් රථයක් ත්‍රිරෝද රථයේ ගැටී මාර්ගයේ පෙරළී ගොස් තිබේ.
ත්‍රිවිල් රථයේ පිටුපස අසුනේ ගමන්ගත් සිසුන් මාර්ගයට වැටී ඇති අතර, ඔවුන්ගේ ජීවිත බේරාගැනීමට ලංගම බස් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය කර ඇත.
එම අවස්ථාවේ රජය සතු ගොඩනැගිල්ලක තාප්පයේ සහ ගේට්ටුවක ගැටී බස් රථය නතර වී ඇති බවත්, අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති බවත් ගිනිගත්හේන පොලීසිය කියා සිටියේය.
ත්‍රිරෝද රථය ධාවනය කළ පාසල් සිසුවාට රියදුරු බලපත්‍රයක් තිබෙන බවට ප්‍රකාශ කර ඇතත්, එය මේ වන තෙක් පොලීසිය වෙත ඉදිරිපත් කර නොමැති බවත්, පාසල් සිසුවාගේ අපරික්ෂාකාරි රිය ධාවනය අනතුරට හේතුව වී ඇති බවත් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ගිනිගත්හේන පොලීසිය කියා සිටියේය.
අනතුරෙන් බස් රථයට සහ ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.