උමතු යුද්ධයක් ඇරඹෙනු ඇතැයි අනතුරු ඇඟවීමක්
November 7, 2024 12:01 pm
නිමක් නොදකින ගාසා යුද්ධයේදී ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ක්‍රමෝපාය අභියෝගයට ලක් කළ ඔහුගේ දක්ෂිණාංශික රජයේ එකම කැබිනට් අමාත්‍යවරයා ඉවත් කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට් ඔහුගේ තනතුරෙන් ඉවත් කරමින් අගමැති නෙතන්යාහු ප්‍රකාශ කළේ විශ්වාසය පිළිබඳ අර්බුදයක් හේතුවෙන් ඔහු ඉවත් කළ බවය.
ගාසා යුද්ධයේ අරමුණු සහ සීමාවන් පිළිබඳව අගමැති නෙතන්යාහු සමග මත ගැටුමක පැටලී සිටි ආරක්ෂක අමාත්‍ය ගැලන්ට් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සඳහා හමාස් සංවිධානය සමග යම් එකඟතාවයකට එළැඹිය යුතු බවට අදහස් කළ අයෙකි.
එහෙත් යුද යාන්ත්‍රණය මෙහෙයවීමේදී ඔහු ඊශ්‍රායලයේ පූර්ණ යුද ශක්තිය යොදාගැනීමට පසුබට වූයේ නැත.
යොවාව් ගැලන්ට් ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ කාලවකවානුව ඇතැමුන් ප්‍රශ්න කරයි.
ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතින අවස්ථාවක මෙන්ම ඊශ්‍රායලයේ ප්‍රධාන සහකරු අමෙරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ එය සිදුකිරීම විශේෂ සිද්ධියකි.
ආරක්ෂක අමාත්‍ය ගැලන්ට් රජයේ සහ කැබිනට් මණ්ඩලයේ තීරණවලට පටහැනි ප්‍රකාශ සිදුකළ බවට අගමැති නෙතන්යාහු චෝදනා කරයි.
නෙතන්යාහුගේ අන්ත දක්ෂිණාංශික සන්ධාන රජයේ දැඩි මතධාරියෙකු වන ඉට්මාන් බෙන් ගවීර් සඳහන් කළේ ආරක්ෂක අමාත්‍ය ගැලන්ට් ඊශ්‍රායලයට පූර්ණ ජය්‍රහණයක් අත්කර ගැනීමට බාධාවක් බවය.
එහෙත් ආරක්ෂක අමාත්‍ය ගැලන්ට් තනතුරෙන් පහ කිරීම මැදපෙරදිග යුද්ධය උමතු යුද්ධයක් (AN ACT OF MADNESS) බවට පත්කරනු ඇතැයි ඊශ්‍රායල විපක්ෂ නායක යයීර් ලපිඩ් අනතුරු ඇඟවීමක් කරයි.
ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයා සඳහන් කළේ, ඉවත් කළ ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට් අමෙරිකාවේ වැදගත් පාර්ශ්වකරුවෙකු වූ බවය.
එමෙන්ම නව ආරක්ෂක අමාත්‍ය ඉස්රායෙල් කාට්ස් සමග අඛණ්ඩ සහයෝගීතාවකින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශකයා කියා සිටියේය.
වසර 35ක් හමුදා සේවයේ නිරතව සිටි හිටපු ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට් හමුදාවේ තනතුර අනුව ජෙනරාල්වරයෙකි.
ආරක්ෂක අමාත්‍ය යොවාව් ගැලන්ට් ඉවත් කිරීමට විරෝධය පාමින් දහස් සංඛ්‍යාත ඊශ්‍රායල වැසියන් ටෙල් අවීව් නුවරට රොක් වී ඇත්තේ ඊශ්‍රායල රජයට සහ අගමැති නෙතන්යාහුට එරෙහිව හඬ නගමිනි.
විරෝධතාකරුවන් ටෙල් අවීව් නුවර ප්‍රධාන මාර්ගයක් අවහිර කළේ දැඩි වාහන තදබදයක් ද ඇති කරමින් ය.
ඊශ්‍රායලයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වී සිටින කාට්ස්, අගමැති නෙතන්යාහුගේ දිගුකාලීන සමීපතමයෙකු මෙන්ම ඔහුට සමාන අදහස් දරන අයෙකු ලෙස ප්රකටය.
ඍජු සහ දැඩි ප්‍රතිපත්ති සහිත පුද්ගලයෙකු නිසා ඊශ්‍රායල මාධ්‍ය විසින් ‘බුල්ඩෝසර්‘ යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන කාට්ස් පාලක ලිකුද් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළ අයෙකි.
ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්කිරීමෙන් පසු ඉස්රායෙල් කාට්ස් ප්‍රතිඥා දුන්නේ හමාස් සංවිධානය මෙන්ම ලෙබනනයේ හෙස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම පරාජය කොට ප්‍රාණ ඇපකරුවන් මුදාගන්නා බවටය.
ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්කිරීමට පෙර ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයාව සිටි ඉස්රායෙල් කාට්ස් ඊශ්‍රායලයේ හමුදා ක්‍රියාමාර්ගවලට, විශේෂයෙන් ගාසා යුද්ධයට විරෝධය දැක්වූ ලෝක නායකයන් සහ ජාත්‍යන්තර සංවිධාන දැඩි ලෙස විවේචනය කරන්න පසුබට වුණේ නැත.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත මෙහෙයුම අනර්වා ඊශ්‍රායලය තුළ තහනම් කිරීමට ඔහු පුරෝගාමීත්වය ගෙන කටයුතු කළේය.
එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස්ට ඊශ්‍රායලයට පැමිණීම තහනම් කිරීමේ ප්‍රකාශය නිකුත් කළේ ද ඔහු විසිනි.
විදේශ අමාත්‍යවරයා ලෙස ඉස්රායෙල් කාට්ස්ගේ අවසන් රාජකාරිය වුණේ අනර්වා සමග ඊශ්‍රායලයේ සබඳතා අවසන් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත නිල වශයෙන් දැනුම්දීමය.
ඉස්රායෙල් කාට්ස් ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්කිරීමෙන් පුරප්පාඩු වූ විදේශ අමාත්‍ය ධුරයට පත්කර ඇත්තේ අගමැති නෙතන්යාහුගේ තවත් සමීපතමයෙකු වන ගිඩියන් සාර්.
නීතිඥයෙකු සහ ජනමාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ගිඩියර් සාර් නෙතන්යාහුගේ ලිකුද් පක්ෂයේ නැගී එන තාරකාව (RISING STAR) ලෙසයි සැලකුණි.
පසුව 2020 වසරේ ලිකුද් පක්ෂයෙන් ඉවත්වී නිව් හෝප් (NEW HOPE) නමින් නව දේශපාලන ව්‍යාපාරයක් බිහිකළ ගිඩියන් සාර් 2021 වසරේදී නැවත ඊශ්‍රායල රජයට එක්වුණි.
ඊශ්‍රායලයේ නෙතන්යාහු රජයේ මේ වෙනස්කම් ප්‍රකාශයට පත්කෙරුණේ ගාසා තීරයේ සහ ලෙබනනයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබියදීය.
විශේෂයෙන් උතුරු ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් ගතවූ පැය 24 තුළ පලස්තීනුවන් 35 දෙනෙකු මිය ගොස් තිබේ.
ගාසා තීරයේ අනෙකුත් ප්‍රදේශවලට එල්ල කළ ප්‍රහාරවල ජීවිත හානි සමග ගතවූ දින තුළ මිය ගිය සංඛ්‍යාව 61ක් බව පලස්තීන සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.
ආහාර, ඖෂධ අත්‍යවශ්‍ය දෑ අතිශයෙන් සීමා වූ ලක්ෂයකට අධික පලස්තීනුවන් උතුරු ගාසා තීරයේ කොටු වී සිටින බව විශ්වාස කෙරෙයි.
මේ අතර ලෙබනනයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 3013 දක්වා ඉහළ ගොස් ඇතැයි ලෙබනන රජය නිවේදනය කරයි.
එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 13,553කි.
ඊශ්‍රායලය ලෙබනනයේ හමුදා මෙහෙයුමක් ආරම්භ කළේ උතුරු ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කරන හෙස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගනිමිනි.
එහෙත් දැන් එය ලෙබනන සිවිල් වැසියන්ගේ ජීවිත සහ දේපොළ හානිවලට හේතු වී තිබේ.
මේ අතර හෙස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලයේ ඊශ්‍රායල හමුදා ඉලක්ක කරගනිමින් රොකට් වෙඩි ප්‍රහාරයක් දියත් කර ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම ඉරාකයේ සිට ක්‍රියාත්මක ඉස්ලාමීය ප්‍රතිරෝධ සන්නද්ධ කණ්ඩායම, ඊශ්‍රායලයේ රතු මුහුදට මුහුණලා පිහිටි වරාය නගරයක් වන එලියට් වෙත ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.
ඒ සමගම එලියට් නගරයේ, අනතුරු ඇඟවීමේ සයිරන් නාද වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.