බණ්ඩාරවත්තේ සිද්ධිය ගැන STF නිලධාරීන්ට අපරාධ චෝදනා එල්ල කිරීම සාක්ෂි නැහැ - නීතිපති

බණ්ඩාරවත්තේ සිද්ධිය ගැන STF නිලධාරීන්ට අපරාධ චෝදනා එල්ල කිරීම සාක්ෂි නැහැ - නීතිපති

November 5, 2024   06:28 pm

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු විසින් සඟවා තිබූ ආයුධයකින් STF නිලධාරීන්ට වෙඩිතැබීමට උත්සාහ ගැනීමේදී නිලධාරීන්ගේ ප්‍රතිප්‍රහාර හමුවේ මියගිය සැකකරු සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (05) ලිපියක් මගින් අධිකරණයට දැනුම්දී ඇත්තේ මෙහිදී කිසිඳු පුද්ගලයකුට අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා සාක්ෂි නොමැති බවය.

අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය බණ්ඩාරවත්ත ගුරු විදුහල් ක්‍රීඩාංගණය අසල කැලෑබද ප්‍රදේශයකදී සඟවා තිබූ ගිනිඅවියක් පෙන්වීමට ගොස් තිබූ අවස්ථාවේදී මෙම සිද්ධිය ඇතිවී තිබුණි.

එලෙස මියගොස් තිබුණේ, 2022 වර්ෂයේ ඔක්තෝබර් 12 වනදා ගාලු පාරේ අහුංගල්ල තරු පහේ හෝටලයක් ඉදිරිපිටදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ය.

මේ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂක කොළඹගේ මහතා අත්අඩංගුවට ගැනීමටද අධිකරණය නියෝග ලබාදුන් අතර මෙම නඩුව බලපිටියේ මහාධිකරණයේ විභාග වෙමින් පැවතුණි. 

එහිදී සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා විසින්  නීතිපතිවරයාගෙන් කරුණු විමසා තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඉහත පැහැදිලි කිරීම ලිපියක් මගින්  අධිකරණයට දැනුම්දී තිබේ.

ඒ අනුව මෙම නඩු විභාගය දෙසැම්බර් 10 දක්වා කල්තබන ලදි.

මෙසේ ඝාතනයට ලක් වූයේ තනමල්විල ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි මහේෂ් ඉන්දික නමැති පුද්ගලයෙකි.

මියගිය සැකකරුගේ ඥාතීන් විසින් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ මහතාට එරෙහිව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඔහු විසින් තම ඥාතියාව වෙඩිතබා මරා දැමූ බවට චෝදනා කිරීමෙන් පසු ඒ සම්බන්ධ නඩුව විභාගයට ගෙන තිබුණි.