බදුල්ල මාරක බස් අනතුරේ රියදුරාගේ බලපත්‍රය මාස 05කට අත්හිටවූ එකක්
November 5, 2024 03:03 pm
බදුල්ල මාරක අනතුරේ බස් රථය ධාවනය කළ රියදුරුගේ බලපත්‍රය බීමත්ව රිය පැදවීම හේතුවෙන් මාස 05කට අත්හිටුවා ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.
ඒ, ගාල්ල අක්මීමන පොලිස් වසමේ ලබුදුව ප්‍රදේශයේදී ඉකුත් අගෝස්තු 04 වනදා බීමත්ව බස් රථයක් පදවා යතුරුපැදියක් අනතුරට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
එහිදී අත්අඩංගුවට පත් රියදුරා අගෝස්තු 06 වනදා ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 55,000ක දඩයක් නියම කර රියදුරු බලපත්‍රය මාස 05කට අත්හිටුවා ඇති බව අද (05) අධිකරණයේදී අනාවරණය විය.
මෙම අනතුර සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය විසින් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් මගින් අද (05) කරුණු ඉදිරිපත් කර තිබුණි.
උඩුගම දාම්මල ප්‍රදේශයේ පදිංචි රියදුරු විසින් සිය රියදුරු බලපත්‍රය අත්හිටුවීමෙන් පසු හිනිදුම පොලීසියේ සිය රියදුරු බලපත්‍රය අස්ථානගතවූ බවට පැමිණිලි කර වෙනත් රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති බවත්, ඉකුත්දා බදුල්ලේ සිදුවූ මාරක රිය අනතුරින් පසු ඔහු සතුව එම රියදුරු පත්‍රය තිබී ඇති බවත් අනාවරණය වී ඇතැයි පොලීසිය අධිකරණයට පවසා තිබේ.
මෙම කරුණු සැලකිල්ලට ගත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ අදාළ රියදුරු බලපත්‍රය එහි රියදුරුට මුදානොහැර තාවකාලිකව අධිකරණ භාරයේ රඳවා තබන ලෙස නියෝග කළාය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සූරියවැව මණ්ඩපයේ සිසු සිසුවියන් සහ ආචාර්යවරු ඇතුළු කණ්ඩායමක් ගමන් කරමින් තිබූ බස්රථය ඉකුත් 01 වනදා බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිඳ ට නුදුරු අඹගහඹය 4 කණුව ප්‍රදේශයේදී අනතුරට ලක්වුණි.
මෙම අනතුරින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී 42ක් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළු කෙරුණි.