ඉන්දීය ආධාර යටතේ ඉදිකළ මඩකලපුව රෝහලේ නව ශල්‍ය ඒකකය විවෘත කෙරේ

ඉන්දීය ආධාර යටතේ ඉදිකළ මඩකලපුව රෝහලේ නව ශල්‍ය ඒකකය විවෘත කෙරේ

November 5, 2024   11:02 am

ඉන්දීය මූල්‍යාධාර යටතේ  මඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදිකළ නව ශල්‍ය ඒකකය ඊයේ (04) දින ජනතා අයිතියට පත් කරන තිබේ. 

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පී.ජී. මහීපාල මහතාගේ සහභාගීත්වයෙන් මෙම ශල්‍ය ඒකකය විවෘත විය. 

ඉන්දියානු රජයේ ආධාර යටතේ මඩකලපුව ශීක්ෂණ රෝහල සඳහා රෝගී ඇඳන් 360 කින් ද ශල්‍ය දැඩි සත්කාර ඇඳන් 10 කින් ද ශල්‍යාගාර 03 කින් ද මෙම රෝහල සමන්විත ව තිබේ.

ශල්‍ය වෛද්‍ය ඒකකයක් ඉදි කිරීමේ හා වෛද්‍ය උපකරණ සැපයීමේ ව්‍යාපෘතිය යටතේ ඉන්දීය රජයේ රුපියල් මිලියන 300 කට අධික මූල්‍යාධාර යටතේ ඉදිවූ මෙම ශල්‍ය ඒකකය ජනතා අයිතියට පත් කිරීම සමග මඩකලපුව ශික්ෂණ රෝහල මඟින් නැ‍ඟෙනහිර පළාතේ මෙන්ම යාබද දිස්ත්‍රික්කවල ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවන් තව තවත් ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙම රෝහලේ සැත්කම් සඳහා දැනට පවතින යටිතල පහසුකම් නවීන තාක්ෂණික පහසුකම් සහිතව වැඩිදියුණු කිරීමත් සමග රෝගීන් සඳහා වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට හැකියාව ලැබෙන බවය.

එමෙන්ම රෝහලේ දැනට පවතින පොරොත්තු ලේඛන 50%කින් අඩු කිරීමටත්, වාර්ෂිකව රෝගීන් 5000 කට ආසන්න පිරිසකට සෞඛ්‍ය සේවා සැලසීමටත් හැකි වනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කෙරේ.