Edelweiss ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි

Edelweiss ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි

November 2, 2024   03:12 pm

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් කටුනායක සහ ස්විට්සර්ලන්තය අතර නව ගුවන් සේවාවක් ඊයේ (01) ආරම්භ කෙරුණි.

Edelweiss ගුවන් සේවයට අයත් අදාළ යානය ඊයේ මෙරටට පැමිණියේ සංචාරකයින් 251 දෙනෙකු ද සමගය.

ශීත ඍතුව එළැඹීමත් සමග ස්විට්සර්ලන්තයේ සුරික් සහ කටුනායක අතර ආරම්භ වූ නව ගුවන් සේවයේ මංගල ගුවන් යානය ලෙස Edelweiss ගුවන් සේවයේ  WK68 දරන  A 330 වර්ගයේ යානයක් මෙලෙස දිවයිනට පැමිණියේය.

සෑම සිකුරාදා දිනකම ස්විට්සර්ලන්තයේ සූරික් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා පියාසර කෙරෙන මෙම යානය එදිනම සූරික් වෙත ගමන් කරන්නේ මාලදිවයිනේ මාලේ අගනුවර හරහාය.

මෙම සේවාව ලබන වසරේ ජනවාරි සිට සතියකට දින දෙකක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ගුවන්තොටුපොළ නිලධාරීන් ප්‍රකාශ කළේය.

මේ අතර 2023 වර්ෂයේ පළමු මාස 9 තුළ සංචාරකයින් 1,016,256 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, 2024 වර්ෂයේ අදාළ කාලසීමාව තුළ සංචාරයින් 1,484,808ක් මෙරටට පැමිණ තිබේ.

එය පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 68.44ක වර්ධනයකි.

මීට අමතරව 2023 වර්ෂයේදී සමස්තයක් ලෙස සංචාරකයින් 1,487,303ක් මෙරටට පැමිණි අතර, 2024 පළමු මාස 9 තුළ පමණක් සංචාරකයින් 1,484,808ක් මෙරට අසිරිය විඳගැනීමට පැමිණ තිබීම විශේෂණත්වයකි.