බදුල්ල බස් අනතුරේ තුවාලකරුවන්ගේ තත්ත්වය යහපත් අතට
November 2, 2024 11:54 am
දුන්හිඳ - බදුල්ල මාර්ගයේ ඊයේ (1) උදෑසන සිදු වූ බස් රථ අනතුරෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූවන්ගේ ජීවිත අවදානම්බව පහව යමින් තිබෙන බව එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පවසයි.
තුවාල ලැබූවන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් සිදුකරමින් හෙතෙම පවසා සිටියේ, රෝහල් ගතකළ සියළු දෙනාගේ තත්ත්වය යහපත් බවයි.
විශේෂයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දස දෙනාගෙන් කීපදෙනෙකුම අද දිනයේදී සාමාන්‍ය වාට්ටුවලට මාරුකර යැවිය හැකි බවද පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය පාලිත රාජපක්ෂ,
"බස් අනතුරෙන් තුවාල ලැබූ 40ක් රෝහල්ගත කළා. ඉන් දස දෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. එම රෝගීන්ගෙන් වැඩි පිරිසක් මේ වනවිට සුවය ලබමින් සිටිනවා. හැමදෙනාගෙම තිබූ ජිවිත අවධානම පහවෙලා තිබෙන්නේ. අපට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් එම දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන්.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාරලබන දස දෙනාගෙන් කීපදෙනෙක් අද සාමාන්‍ය වාට්ටුවලට මාරුකිරීමේ හැකියාව තිබෙනවා. තවත් කිහිප දෙනෙක් අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රෝහලෙන් පිටව යා හැකියි.
දැනට තිබෙන තත්ත්වය අනුව කිසිදු රෝගියෙකු ගුවන් මගින් කොළඹට රැගෙනයාමේ අවශ්‍යතාවක් නැහැ. එය ජීවිත අවදානමේ හෙළීමක්. තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල රෝහලේ තිබෙනවා".