ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය හාන්ස් පත් කෙරේ

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය හාන්ස් පත් කෙරේ

November 1, 2024   04:31 pm

ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ලෙස පත් කර තිබේ.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම, ජාතික තරගකාරිත්වය සහ සියලු පුරවැසියන්ට සැලකිය යුතු ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කරමින්, කලාපයේ වඩාත්ම දියුණු රටවල් හා සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීමේ සිය දැක්ම සහ කැපවීම පිළිඹිබු කරමින් ජනාධිපතිවරයා මෙම පත් කිරීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සහ ඩිජිටල් යටිතල පහසුකම් යන අංශවලින් ගෝලීය ප්‍රමිතියට ළඟා වීම රජයේ අපේක්ෂාව වන අතර, පුරවැසියන් සවිබල ගැන්වීම උදෙසා ඩිජිටල් පොදු යටිතල පහසුකම් ස්ථාපිත කිරීම මඟින් බහු-ආංශික ඩිජිටල් පරිවර්තනයක් සඳහා රජය දැඩිව කැප වී සිටින බවත් එම නිවේදනයේ සඳහන් වේ. 

ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයෙකු වන ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා දැනට ආසිආටා සමාගමේ විදුලි සංදේශ ව්‍යාපාර ප්‍රධාන විධායක නිලධාරී සහ සමූහ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන අතර, ඔහු නියමිත කාලයකින් පසු එම තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇත. 

මෙම කාල පරිච්ඡේදය තුළ, ආචාර්ය  හාන්ස් විජයසූරිය මහතා විධායක නොවන සභාපතිවරයා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට නායකත්වය ලබා දෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. 

ඒ හරහා රජය අපේක්ෂා කරන ඩිජිටල් පරිවර්තනය සඳහා අදාළ වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සිදු කරනු ඇති බවත් එහි සඳහන් වේ. 

අදාළ පත් කිරීමෙන් පසු ඩිජිටල් ආර්ථිකයට අදාළ ආයතනික රාමුව තුළ විධායක නායකත්ව භූමිකා කිහිපයක් ඔහු ඉටු කිරීමට නියමිතය. 

මීට අමතරව, ජනාධිපතිවරයාගේ ඍජු විෂය පථය යටතේ අලුතින් පිහිට වූ අමාත්‍යංශයක් වන ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඩිජිටල් ආර්ථික ත්වරණය අධීක්ෂණය කිරීම සඳහා කටයුතු කරන ඉහළම ආයතනයක් වන ඩිජිටල් ආර්ථික අධිකාරියේ සභාපතිවරයා යන තනතුරු ද්විත්වයම ඒ මහතා විසින් දරනු ඇත. 

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් පවසන්නේ එහි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය විසින් ශ්‍රී ලංකා රජයේ ආරාධනය පිළිගෙන ඇති බවයි.

ඒ අනුව ඔහු 2025 ජනවාරි 25 වනදා ආසියාටා සමාගමෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.

ආචාර්ය හාන්ස් ගේ තීරණය ආසියාට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පිළිගෙන තිබේ. ඔහු ආසියාටා සහ ඊට පෙර එය හඳුන්වනු ලැබූ ටෙලිකොම් මැලේසියා හි වසර 30ක් පමණ සිය වෘත්තියේ යෙදී තිබේ.

ඩයලොග් සමාගමෙහි සමූහ ප්‍රධාන විධායක ලෙසින් ආචාර්ය හාන්ස් විජයසූරිය 1997 වසරේ සිට 2016 වසර දක්වා කීර්තිමත් සේවා කාලයක් සටහන් කළ කාලය, ඩයලොග් සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් කළ කාල පරිච්ඡේදයකි. 

එම කාලය තුළ ක්ෂේත්‍රයට පිවිසි හතරවැනි සමාගම ලෙසින් මෙරට මොබයිල් ක්ෂේත්‍රයට සිය සම්ප්‍රාප්තිය සටහන් කිරිමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ සුවිශාලතම විදුලි සංදේශ සන්නිවේදන සේවා සම්පාදකයා බවට පත් වීමට ඩයලොග් වෙත හැකි විණි. 

එම කාලය ඇතුළත ආසියාවේ ප්‍රමුඛතම Quad Play හා ඩිජිටල් සේවාවන් සපයන සමාගමක් බවට පත්වීමටද ඩයලොග් වෙත හැකියාව ලැබුණු අතර, මූල්‍ය තාක්ෂණ සේවා සහ ඩිජිටල් සෞඛ්‍ය අංශ ආදී ක්ෂේත්‍රයන්හිද සමාගම සිය ස්ථාවරත්වය තහවුරු කරගනු ලැබිණි. 

GSM Asia Pacific, හි හිටපු සභාපතිවරයකුද වන ආචාර්ය හාන්ස් විජයසූරියගේ සේවා කාලය අතරතුර එනම්, 2016 වසරේදී GSMA විසින්, Asia Mobile Awards සම්මාන උළෙලේ ඉහළම සම්මානයට ඔහු පාත්‍ර කරන ලදී. 

ඒ, ආචාර්ය හාන්ස් විජයසූරිය විසින් ‘ආසියානු මොබයිල් ක්ෂේත්‍රය වෙනුවෙන් දක්වන ලද විශිෂ්ට දායකත්වය’ උදෙසා ය. 

එපමණක් නොව, මෙරට ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන LMDසඟරාව, 2008 වසරේ දී "වසරේ ශ්‍රී ලාංකිකයා" ලෙසින් නම් කරනු ලැබු‍වේද, ඔහු ය.