පාස්කු ප්‍රහාරය ගැන චැනල් 4 කරුණු ව්‍යාජ බව කමිටු වාර්තාවෙන් ඔප්පු වෙනවා -ගම්මන්පිල

පාස්කු ප්‍රහාරය ගැන චැනල් 4 කරුණු ව්‍යාජ බව කමිටු වාර්තාවෙන් ඔප්පු වෙනවා -ගම්මන්පිල

October 28, 2024   12:29 pm

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනේ ඇතුළත් කරුණු ව්‍යාජ ඒවා බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටු වාර්තාවෙන් හෙළිදරව් වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

අදාළ වාර්තා වැඩසටහනේ ඇතුළත් කරුණු පිළිබඳ සොයා බැලීමට පත්කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් කමිටු වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

චැනල් 4 නාලිකාවේ විකාශය කළ Sri Lanka Easter Bombings නම් වැඩසටහනේ කරුණු සඳහන් වූයේ අසාද් මවුලානා නම් පුද්ගලයෙක් සිදුකළ හෙළිදරව්වක් පාදක කර ගෙනය.

ඔහු පවසා ඇත්තේ 2018 පෙබරවාරි මාසයේදී හමුදා බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ සුරේෂ් සලේ සහ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ වූ සහරාන් අතර හමුවක් සිදුවී ඇති බවයි.

එම හමුව තමා සම්බන්ධීකරණය කළ බවත් එම හමුව පුත්තලම වනාතවිල්ලුව ඉඩමේ තිබූ නිවසේදී සිදුවූ බව මවුලානා පවසා තිබුණි.

2019 වසරේ ජනවාරි මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබුණේද එම ඉඩමේ තිබියදී ය.

මේ සම්බන්ධයෙන් හෙළිදරව් කළ ගම්මන්පිල මහතා,

"මේ චැනල් 4 වැඩසටහනේ දී අසාද් මවුලානා කියන පුද්ගලයා අපේ බුද්ධි අංශවලට බරපතළ චෝදනා ගණනාවක්ව නගනවා. මේ චෝදනා අතුරින් ප්‍රධානතම චෝදනාව වන්නේ 2018 පෙබරවාරි මාසයේ දී අපේ බුද්ධි අංශ මේ පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් සහරාන් නැමැති මරාගෙන මැරෙන කණ්ඩායමත් සමග පැය 3කට අධික සාකච්ඡාවක් සිද්ධ කළා කියන කාරණය. ඒ චෝදනාව එල්ල කරන්නේ අසාද් මවුලානා කියන පුද්ගලයා. මේ අසාද් මවුලානා කියන විදියට සහරාන් සහ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වෙලා හිටපු සුරේෂ් සලේ පසුව ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා වෙලා හිටිය සුරේෂ් සලේ සහ සහරාන් අතර හමුව සිද්ධ වෙන්නේ 2018 පෙබරවාරි මාසේ. මේ හමුව සංවිධානය කරන්නේ චැනල් 4 නාලිකාවට මේ ප්‍රකාශය කරන අසාද් මවුලානා. මේ හමුව සිදුවන්නේ පුත්තලම වනාතවිල්ලුවේ සහරාන්ලට අයත්ව තිබු පොල්වත්තක තිබු නිවසක කියන එක. මේ කියන සුවිශේෂි ස්ථානයේ ම තමයි 2019 ජනවාරි මාසේ CID ගිහිල්ලා 100 Kgකට අධික පුපුරණ ද්‍රව්‍ය සොයා ගන්නේ කියලත් අසාද් මවුලානා සඳහන් කරනවා. 2018 පෙබරවාරි මාසේ වනාතවිල්ලුවේ සහරාන්ට අයත්ව පොල් ඉඩමේ තිබූ නිවසේ දී සුරේෂ් සලේ, සහරාන් ඇතුළු කණ්ඩායම මුණගැහිලා පාස්කු ප්‍රහාරය සැලසුම් කළා කියන එක තමා අසාද් මවුලානාගේ චෝදනාව.

2023 සැප්තැම්බර් 05 වනදා චැනල් 4 නාලිකාව විකාශනය කරපු ශ්‍රී ලංකා ඉස්ට බෝම්බිං කියන වැඩසටහනෙන් නගන චෝදනාව තමයි බෞද්ධ නායකයෙක් ජනාධිපතිකර ගන්න ඉස්ලාම් තරුණයන් පිරිසක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් කතෝලික පල්ලිවලට එල්ල කළා කියන කාරණය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ගෙන ඒමේ යටි අරමුණින් පාස්කු ප්‍රහාරය කළේ අපේ හමුදා බුද්ධි අංශ කියලා ඉතාම බරපතළ චෝදනාවක් නගනවා. ඒ චෝදනාවල ඇත්ත නැත්ත සොයා බලන්න විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් . අයි. ඉමාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. මේ පත්කළ කමිටුවට කාදිනල් තුමන් හෝ මාලිමාවේ නායකයන් හෝ වෙනත් පාර්ශවයක් විසින් කිසිදු විරෝධයක් ඉදිරිපත් කළේ නෑ. 

මේ චැනල් 4 නාලිකාවේදී අසාද් මවුලානා කියන පුද්ගලයා අපේ හමුදා බුද්ධි අංශවලට බරපතළ චෝදනාවක් කිහිපයක්ම නගනවා. ප්‍රධානතම චෝදනවා වන්නේ 2018 පෙබරවාරි මාසේ වනාතවිල්ලුවේ සහරාන්ට අයත්ව පොල් ඉඩමේ තිබූ නිවසේ දී සුරේෂ් සලේ, සහරාන් ඇතුළ කණ්ඩායම මුණගැහිලා පාස්කු ප්‍රහාරය සැලසුම් කළා කියන එක. 

මේ කමිටුව විමර්ශන කිරීමේදී හරි අපූරු දෙයක් හොයා ගන්නවා. මේ ඉඩමේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගන්න අවස්ථාවේ දී දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නවා. එයින් කෙනෙක් තමයි හනිෆා මුෆීස් කියන්නේ. මෙයාගෙන් ප්‍රශ්න කරද්දි ඔහු කියනවා මේ ඉඩමේ තියන නිවස තාවකාලික වගේ නිවසක් ඉදිකරන්නේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වගේ කියලා. එහෙමනන් මවුලානා කියන විදියට සුරේෂ් සලේ සහ සහරාන් ඇතුළු කණ්ඩායම හමුවේ සාකච්ඡා කරා කියන 2018 පෙබරවාරි මාසයේදී මේ ඉඩමේ කිසිම නිවසක් තිබුනේ නෑ. ඒකෙන්ම අසාද් මව්ලානා කියන එක පට්ටපල් බොරුවක් කියන එක ඔප්පු වෙනවා. සුරේෂ් සලේ 2016 නොවැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වාම සේවය කරන්නේ බුද්ධි අංශවලින් බැහැර වෙලා මැලේසියිවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ. 

ඒ කාලය තුළ ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ 2017 නොවැම්බර් මාසයේ දී පමණයි. ඉතාම වැදගත් දේ තමයි. සාක්ෂි ලබාදෙන පොලිස් නිලධාරීන් තහවුරු කරනවා 2018 පෙබරවාරි මාසේ සෑම දිනකදීම සහරාන් ඇතුළු කණ්ඩායම ජීවත් වුණේ, මඩකලපුව සහ අම්පාර කියන දිස්ත්‍රික්ක තුළ පමණයි. ඔවුන් නැගෙනහිර පළාතෙන් කිසිම දිනක පිටතට අවේ නැහැයි කියන එක ජංගම දුරකථන සංනිවේදන කුළුණු හරහා තහවුරු කරගෙන තියෙනවා. කමිටුවේ නිගමනය වෙන්නේ අසාද් මව්ලානා චැනල් 4 නාලිකාවට ගිහිල්ලා තමන් උපන් මව්බිම ගැන මහා ලොකු බොරුවක් වැපිරුවේ ස්විස්ටර්ලන්තයේ සරණාගතයෙක් වීමට අවශ්‍ය පසුබිම හදාගන්නයි."