අවසන් එක්දින තරගයේ ජය කොදෙව්වන්ට

අවසන් එක්දින තරගයේ ජය කොදෙව්වන්ට

October 26, 2024   11:34 pm

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

කෙසේවෙතත් තරග තුනකින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

පල්ලේකැලේ පැවැත්වුණු තරගයේ කාසියේ වාසිය කොදෙව්වන් දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ලට ලකුණු 81ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබාදුනි.

18 වැනි පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව තරගය යළි ආරම්භ කිරීම පැය කිහිපයක් පමා වුණි.

ඒ අනුව තරගය යළි ආරම්භ වූයේ එක් ඉනිමක් පන්දුවාර 23කට සීමා කරමිනි.

යළි පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 23දී කඩුලු 3ක් දැවී ලකුණු 156ක් රැස් කිරීමට සමත්වුණි.

පැතුම් නිස්සංක ලකුණු 56ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 22කදී නොදැවී ලකුණු 56ක් රැස් කළේය.

ඒ අනුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 23දී හිමි වූ ඉලක්කය ලකුණු 195කි.

කොදෙව් කණ්ඩායම පන්දු ඕවර 22කදී ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු 196 ලබාගත්තේ කඩුලු දෙකක් පමණක් දැවීයාමෙනි.

ඔවුන් වෙනුවෙන්  එවින් ලුවිස් නොදැවී ලකුණු 102ක් සහ ශර්ෆේන් රදර්ෆඩ් නොදැවී ලකුණු 50ක් ලබාගත්හ.