ඊශ්‍රායලය දියත් කළ ප්‍රහාරවලින් පසු අමෙරිකාවෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්
සයුරෙන් එතෙර

ඊශ්‍රායලය දියත් කළ ප්‍රහාරවලින් පසු අමෙරිකාවෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්

October 26, 2024   03:18 pm

ඔක්තෝබර් 01 වනදා ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කරමින් එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය අද (26) ඉරානයේ හමුදා මූලස්ථාන ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කළේය.

කෙසේ වුවද ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට සිදුවී ඇති හානිය මෙතෙක් වාර්තා වී නොමැත.

නමුත් ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් ද පිපුරුම් ශබ්ද ශ්‍රවණය වූ බව වාර්තා වෙයි.

ඉරාන ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ආකාරය සැලසුම් කරමින් සිටින බව ගෙවුණු සති කිහිපයේ දී ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානය මෙන්ම ඉරාකයත් සිය ගුවන් කලාපය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගත්තේ ය.

ඉරානයේ බටහිර සහ නිරිත දිග පිහිටි හමුදා මූලස්ථාන ඊශ්‍රායලයේ ප්‍රධාන ඉලක්කය වී තිබුණි.

ඉරානයේ හමුදා ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාර මාලාව නිමා කරමින් සිය ගුවන් යානා ආරක්ෂිතව ඊශ්‍රායලයට පැමිණි බවද පසුව ඊශ්‍රායලය නිවේදනය කළේය.

ඊශ්‍රායලය අනාවරණ කරන්නේ තමන් ඉරානයේ මිසයිල නිෂ්පාදනාගාර ද ඉලක්ක කළ බවය.

ඊශ්‍රායලය මෙලෙස ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව මෙන්ම බ්‍රිතාන්‍යයත් පවසන්නේ ඊශ්‍රායලයට සිය ආරක්ෂාව තහවුරු කරගැනීමේ අයිතිය පවතින බවය.

කෙසේ වුවද ඊශ්‍රායලයට නැවත ප්‍රහාර එල්ල නොකරන ලෙසට අමෙරිකාව ඉරානයට අවධාරණය කර තිබේ.