පක්ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධිව මුහුදු මගින් ප්‍රවාහනය කළ 6කට ලක්ෂ 28ක දඩයක්

පක්ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධිව මුහුදු මගින් ප්‍රවාහනය කළ 6කට ලක්ෂ 28ක දඩයක්

October 25, 2024   09:25 pm

පක්‍ෂීන් සහ උරග විශේෂ නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කළ 06 දෙනෙකුට රුපියල් විසිඅට ලක්ෂ අසුදාහක දඩයක් නියම කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණාය.

මෙලෙස දඩ නියම වූයේ මීගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන් හි පදිංචි ධීවරයින් පස් දෙනෙකු සහ ඉන්දියානු ජාතිකයෙකුට ය.

සැකකාර ධීවරයන් පස්දෙනා සහ ඉන්දියානු ජාතිකයා වරද පිළිගැනීමෙන් පසු එක් අයෙකුට රුපියල් හාර ලක්ෂ අසූ දහස බැගින් හයදෙනාට රුපියල් විසි අට ලක්ෂ අසූ දහසක දඩයක් නියම කිරීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය ඊයේ (24) නියෝග කර කළාය.

මෙම සතුන් ප්‍රවාහනය කළ නාවික හමුදා භාරයේ තිබු ධීවර යාත්‍රාව රාජසන්තක කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය දැනට ජාතික සත්වෝද්‍යානය භාරයේ තිබෙන සතුන් සියලුම දෙනාද රාජසන්තක කර දෙහිවල ජාතික සත්වෝද්‍යානයට බාරදෙන ලෙසද නියෝග කළාය.

පක්‍ෂීන් සහ උරග විශේෂ ජාවාරමක් සම්බන්ධයෙන් නාවික හමුදාවට ලද තොරතුරක් මත කළ මෙහෙයුමකදි දකුණු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු මෙරට බහුදින ධීවර යාත්‍රාව පසුගිය ජූලි මස 07 වැනි දින අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී එම බහුදින ධීවර යාත්‍රාව මගින් දුර්ලභ ගණයේ පිඹුරන් 13 ක්, තලගොයෙක්, විශාල ඉබ්බෙක් සහ ගිරවුන් 03 ක් ප්‍රවාහනය කරමින් තිබූණි. 

මෙම සතුන් සහිත බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් ගාල්ල වරායට රැගෙන ඒමෙන් පසු හික්කඩුව වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් ජුලි මස 09 වන දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබුණි.