ආරක්ෂාව ගැන ජනපති රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුම්වත් කරයි

ආරක්ෂාව ගැන ජනපති රාජ්‍යතාන්ත්‍රිකයින් දැනුම්වත් කරයි

October 25, 2024   08:04 pm

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරේනෝ මහතා ප්‍රමුඛ යුරෝපා සංගමයේ නියෝජිත පිරිස අද (25) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුම්වත් කර ඇති අතර, සංචාරකයන්ගේ සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෑත කාලීනව ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුම්වත් කර ඇත.

විශේෂයෙන් ප්‍රධාන සංචාරක කලාප ආශ්‍රිතව ආරක්ෂක ප්‍රොටෝකෝල සහිත නීතිරීති ක්‍රියාත්මක කර ඇති බවත්, හදිසි සේවා යොදවා ඇති බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ තීරණාත්මක හවුල්කරුවෙකු වන අතර, එය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන සහ සංචාරක වෙළඳපොළ ලෙසත්, තුන්වන විශාලතම ආනයන වෙළෙඳපොළ ලෙසත් කටයුතු කරයි.

මේ අතර ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා අද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුව ඇත.

මැදපෙරදිග වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර ඇති අතර, ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්‍ෂක පියවර පිළිබඳව ජනාධිපතිවරයා විසින් ඉරාන තානාපතිවරයාව දැනුම්වත් කර තිබේ.