දින ගණනාවක පෙර සිට ආරක්ෂාව තර කෙරුණු ආරුගම්බේ

දින ගණනාවක පෙර සිට ආරක්ෂාව තර කෙරුණු ආරුගම්බේ

October 23, 2024   04:16 pm

අද (23) දින අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත්කළ නිවේදනයේ දැක්වුණු ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කිරීමට තිබූ සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ  ආරක්ෂක අංශ පූර්ණ දැනුවත්වීමකින් සිට ඇති බව වාර්තා වෙයි.

එබැවින් දින ගණනාවකට පෙර සිටම ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබූ බව සඳහන් ය.

මේ වනවිට පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා යවා ඇති බව ද වාර්තා වෙයි.

ප්‍රදේශයේ ආරක්ෂාව තරකිරීම සඳහා බුද්ධි අංශ සහ අනෙකුත් ආරක්ෂක අංශ ද අවධානයෙන් පසුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මේ අතර කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක මෙවැනි අනතුරක් පිළිබඳ බුද්ධි වාර්තා ලැබී නොමැති බවත් ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.

එසේම ආරුගම්බේ සහ අනෙකුත් පළාත් වලට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පොලීසිය සහ ආරක්ෂක අංශ විශේෂ අවධානයකින් පසුවන බවද ඔහු පැවසීය.
 
"පසුගිය දිනවල යම් යම් තොරතුරැ ලැබිලා තිබුණා ඒ ඊශ්‍රායල ජාතිකයින්ට යම් ආකාරයක අනතුරක් විය හැකි බවට. ඒ නිසා ප්‍රදේශය භාර SDIG ඊට අවශ්‍ය මූලික පියවර ගෙන තිබුණා. පසුගිය දින කිහිපය තුළම මාර්ග බාධක යොදලා ප්‍රදේශය ආරක්ෂා කිරීම. වාහන, පුද්ගලයින් විටින් විට පරීක්ෂා කිරීම් කළා එය පසුගිය කාලසීමාව තුල ක්‍රියාත්මක වෙච්ච තත්ත්වයක්. අද දිනය වනවිටත් ඒ ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යොදලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලීසිය, විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව, යුද හමුදාව, විශේෂයෙන් බුද්ධි අංශ නිලධාරීන් යොදවලා ඒ ප්‍රදේශයේ අවශ්‍ය ආරක්ෂාව සම්පූර්ණයෙන්ම සලසලා තියෙන්නේ. අපිට යම් තොරතුරක් ලැබෙනවා නම් අපි ක්ෂණිකව ක්‍රියාමාර්ග ගන්නවා. මේ වනවිටත් ඒ ප්‍රදේශයට අවශ්‍ය පියවර අරගෙනයි තියෙන්නේ. වෙනත් ප්‍රදේශවලට...ඒ නිසා තමයි අපි පොලිස් ස්ථාන වලට මේ උපදෙස් ලබාදෙන්නෙත් සංචාරකයින් කුමන රටකට ජාතියකට අයත් වුණත් ඔවුන්ගේ ආරක්ෂාව සැපයීම අපේ වගකීමක් වන නිසා ඒ පොලිස් ස්ථානවලට අවශ්‍ය සම්බන්ධීකරණය සහ අවශ්‍ය උපදෙස් දීම සිදුකරන්නේ"