පියා ඝාතනය කර පුතාට ඇසිඩ් ගැසූ සිද්ධිය ගැන තවත් තොරතුරු

පියා ඝාතනය කර පුතාට ඇසිඩ් ගැසූ සිද්ධිය ගැන තවත් තොරතුරු

October 22, 2024   08:40 pm

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි පිරිසක් විසින් ජීප් රථයකින් පැහැරගෙන යමින් සිටි සිය පුත්‍රයා බේරාගැනීමට උත්සාහ දැරූ පියෙකු එම ජීප් රථයට යටවී මියගිය අනුවේදනීය පුවතක් ඇහැලියගොඩ පරකඩුව ප්‍රදේශයෙන් වාර්තා විය.

ඇහැලියගොඩ, පරකඩුව ප්‍රදේශයේ නිවසකට පසුගිය 19වනදා සවස, පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටි පිරිසක් ජීප් රථයකින් පැමිණ තිබුණි.

ඔවුන් නිවසේ සිටි 23 හැවිරිදි තරුණයෙකු මාංචු දමා රැගෙන යාමට සූදානම් වෙද්දී, ඊට ඔහුගේ මව්පියන් විරෝධය දක්වා ඇති අතර, එහිදී පිරිස බලහත්කාරයෙන් තරුණයා ජීප් රථයට නංවාගෙන රැගෙන යාමට උත්සාහ දරා ඇත.

එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ පියා, ජීප් රථයේ එල්ලී ඔවුන්ට බාධා කළ ද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර එහිදී පියා බිම ඇදවැටී තිබුණි.

පොලීසිය සඳහන් කළේ ජීප් රථයේ රියදුරා පියාව රථයට යටකරමින් එය ඉදිරියට ධාවනය කර ඇති බවය.

එහිදී බරපතළ තුවාල ලැබූ 65 හැවිරිදි පියා වහාම රෝහල්ගත කෙරුණද  ඔහු මියගොස් ඇත.

පැහැරගැනුණු තරුණයා ඇහැලියගොඩ, පනාවල ප්‍රදේශයේ පිහිටි ගල්තලාවක් වෙත රැගෙන ගොස් දරුණු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර, ඔහු එම ස්ථානයේ දමා පිරිස පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

දරුණු පිළිස්සුම් තුවාල සහිතවම ඒ ආසන්නයේ වූ නිවසකට ගිය තරුණයා දුරකථනයක් මගින් තම ඥාතියෙකුට සිද්ධිය පිළිබඳව දැනුම්දී ඇත.

ඒ අනුව තරුණයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබුණි.

පොලීසිය පැවසුවේ අසල්වැසි නිවසක සිටින පිරිසක් සමග ඇති වූ ආරවුලක් පැහැරගැනීමට හේතුවී ඇති බවට සැක කරන බවය.

අදාළ නිවැසියන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔවුන් කිසිවකුගේ කොන්ත්‍රාත්තුවක් මත මෙය සිදුකළේ ද යන්න පිළිබඳව ද පොලීසියේ අවදානය යොමුවී තිබේ.

මේ අතර බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගතව සිටින තරුණයා, සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (22) දහවල් නිවසට පැමිණ තිබුණි.