ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු අවසන් පන්දුවාරයේදී බිඳවැටෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් බලාපොරොත්තු අවසන් පන්දුවාරයේදී බිඳවැටෙයි

October 19, 2024   08:14 am

ඕමානයේ පැවැත්වෙන ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකළ පළමු තරගයෙන් ඇෆ්ගනිස්තාන 'A' කණ්ඩායම හමුවේ ලකුණු 11ක පරාජයක් ලැබීමට සිදුවිය.

මෙම තරගය මස්කට් අගනුවර අල් ඇමරට් ක්‍රීඩාංගණයේදී ඊයේ (18) රාත්‍රියේදී පැවැත්විණි.

පළමු පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 166ක් රැස්කිරීමට සමත් විය.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 155ක් පමණි.

ශ්‍රී ලංකාව අවසන් පන්දුවාරයේදී ලකුණු 13ක් රැස්කළ යුතු වුවත්, ඔවුන්ට කිසිදු ලකුණක් රැස්කිරීමට නොහැකි විය. 

වයිඩ් පන්දුවකින් පමණක් එක් අතිරේක ලකුණක් හිමිවිය.

ආසියාවේ නැගීඑන ක්‍රීඩකයන් වෙනුවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන මෙම තරගාවලිය කණ්ඩායම් 8ක සහභාගිත්වයෙන් පැවැත්වේ.

මේ සඳහා ශ්‍රී ලංකාව සමග ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් ‘A’කණ්ඩායම් එක්ව සිටියි.

කෙසේ නමුත් හොංකොං, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරමින් එම රටවල ජාතික කණ්ඩායම් මෙහිදී ක්‍රීඩා කරයි.

අවසන් වරට මෙම තරගාවලිය පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවති අතර, එහිදී ඉන්දීය ‘A’කණ්ඩායම පරාජය කර ශූරතාව දිනාගැනීමට පාකිස්තාන ‘A’කණ්ඩායම සමත් විය.

කාණ්ඩ දෙකකින් මෙහි මූලික වටයේදී තරග පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව එහි ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරයි.  එම කාණ්ඩයට බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ හොංකොං කණ්ඩායම් ඇතුළත්ව ඇත.

තරගාවලිය මේ මස 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

නුවනිඳු ප්‍රනාන්දුගේ නායකත්වයෙන් තරග වදින ශ්‍රී ලංකා ‘A’කණ්ඩායම ක්‍රීඩාකරන මූලික වටයේ දෙවැනි තරගය හෙට (20) හොංකොං කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.