කාන්තා ලෝක කුසලානයේ තීරණාත්මක සටනක් අද

කාන්තා ලෝක කුසලානයේ තීරණාත්මක සටනක් අද

October 17, 2024   04:20 pm

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැ.ත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර අද (17) පැවැත්වේ.

රාත්‍රී තරගයක් ලෙසින් මෙය ඩුබායිහිදී පැවැත්වෙන අතර, තරගය රාත්‍රී 7.30ට ආරම්භවීමට නියමිත ඇත.

කණ්ඩායම් 10ක සහභාගිත්වයෙන් මෙම තරගාවලියේ මූලික වටයේ තරග පැවැත් වූ අතර, ඔස්ට්‍රේලියාව එහි 'A'කාණ්ඩයෙන් ක්‍රීඩා කළේය.

එහිදී ඔවුන් ක්‍රීඩාකළ තරග 4ම ජයගනිමින් අපරාජිත කණ්ඩායමක් ලෙසින් මේ දක්වා ඉදිරියට පැමිණ සිටියි.

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම මෙහි 'B' කාණ්ඩයෙන් ක්‍රීඩාකළ අතර, ඔවුන් එක් තරගයක් පමණක් පරාජය වී තරග 3ක ජය තහවුරු කරගැනීමට සමත් විය.

ඒ හේතුවෙන් ඔවුන් එම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය පත්විය.

දකුණු අප්‍රිකානු හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම් 2009 වසරේ සිට මේ දක්වා අවස්ථා 10කදී එකිනෙකා සමගින් තරගවැදී තිබේ. ඉන් තරග 9කම ජය ඔස්ට්‍රේලියාවට හිමිවද්දී, දකුණු අප්‍රිකාව ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.

කෙසේ නමුත් යම් හෙයකින් මෙම තරගය ඔස්ට්‍රේලියාව පරාජය වුවහොත් එය, වසර 14කට පසු ඔස්ට්‍රේලියාව නොමැතිව ක්‍රීඩාකරන පළමු විස්සයි20 කාන්තා ලෝක කුසලානය වනු ඇත.

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ මෙවර පැවැත්වෙන්නේ 9වැනි අදියරයි.

ඉන් අවසන්වරට පැවැත්වූ තරගාවලියේ ත්‍රිත්වයම (2018, 2020, 2023) ඇතුලුව අවස්ථා 6කදීම ලෝක ශූරතාව දිනාගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවයි.

ඒ හැරෙන්න සමාරම්භක ලෝක කුසලානය (2009) එංගලන්තය හා 2016 වසරේදී බ.ඉ. කොදෙව් කාන්තාවන් ජයග්‍රහණය කිරීම හැරෙන්න මේ දක්වා වෙනත් කිසිදු රටක් විස්සයි20 කාන්තා ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නොමැත.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ක්‍රීඩාකරන තෙවැනි අවසන් පූර්ව තරගය මෙය වන අතර, ඉන් ඔවුන් ඉකුත් 2023 වසරේ සිය සත්කාරකත්වය යටතේ පැවති තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමට සමත් විය.

මේ අතර මෙවර කාන්තා ලෝක කුසලානයේ දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (18) නවසීලතය හා බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම් අතර සාජාහිදී පැවැත්වීමට නියමිතව ඇත.