තේ දළු ප්‍රවාහනය කළ ලොරි රථයක් දුම්රියක ගැටෙයි

තේ දළු ප්‍රවාහනය කළ ලොරි රථයක් දුම්රියක ගැටෙයි

October 14, 2024   05:29 pm

තේ දළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් ලොරි රථයේ රිය සහයකයා තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර  තිබේ.

කොළඹ කොටුව සිට ඇල්ල දක්වා ධාවනය වූ විශේෂ මගී ප්‍රවාහන දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර අද (14) සවස 3.30ට පමණ සිදුව ඇත.

හැටන් දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දක්වා අදාළ දුම්රිය ධාවනය කළ අවස්තාවේ, හැටන් යුනිෆිල්ඩ් වත්තේ සිට එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව දක්වා තේ දළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මෙම අනතුරට ලක්විය.

වංගුවක් සහිත එම ස්ථානයේ දුම්රිය ආරක්ෂක ගේට්ටුවක් සවි කර තිබුණද, එම ගේට්ටුවේ මුරකරුවෙකු නොමැති නිසා ලොරි රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කර තිබේ.

එම අවස්තාවේ දුම්රිය ඉදිරියට ධාවනය වෙමින් තිබු බවත්, එහිදී ලොරි රථය පිටුපසට ධාවනය කිරිමට උත්සහ කිරිමත් සමගම ලොරි රථයේ වම් පස දුම්රියේ ගැටී ඇති බව අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය පැවසීය.

අනතුර සිදු වන අවස්තාවේ ලොරි රථයේ පිටුපස වතු කම්කරුවන් පස්දෙනෙකු සිට ඇත.

අනතුරෙන් ලොරි රථයේ ඉදිරිපස ප්‍රදේශයට දැඩි අලාභහානි සිදුව තිබේ.

ලොරි රථය දුම්රියේ ගැටීමෙන් පසු ධාවනය වූ දුම්රිය නතර කර, දුම්රිය ආරක්ෂක අංශ නිලධාරින් විසින් තුවාලකරු රෝහල් ගත කර දුම්රිය ගමනාන්තය දක්වා ධාවනය කිරිමට පියවර ගනු ලැබීය.