කෙහෙළිය තාවකාලිකව දේශපාලනයෙන් සමුගනියි

කෙහෙළිය තාවකාලිකව දේශපාලනයෙන් සමුගනියි

October 13, 2024   04:56 pm

මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ක්‍රියාකාරී දේශපාලනයෙන් තාවකාලිකව සමුගැනීමට තීරණය කර ඇත.

සිය දේශපාලනයේ ඉදිරි ගමන ගැන පාක්ෂිකයන්ට දැනුම්දීම වෙනුවෙන් මහනුවරදී අද (13) පැවැති රැස්වීමකදී ඔහු මේ බව අනාවරණය කළේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් දේශපාලනික වශයෙන් අනාථවූවෙකු නොවන බවයි. තාවකාලිකව දේශපාලයෙන් සමුගැනීම නිවේදනය කළත්, මහජන ප්‍රසාදය පෙර පරිදිම පවතින බව ඔහු පැවසීය.

ව්‍යාපාරිකයෙකු ලෙස තමන් හරි හම්බ කරගත් මුදල්වල වටිනාකමට වඩා දේශපාලනයේ නිරතවීමෙන් ලද ජනතා ආදරය වටින බවද ඔහු අවධාරණය කළේය.

එමෙන්ම තමන්ට අධිකරණය වෙතින් සාධාරණය ඉටුවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවත්, නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස නැවත දේශපාලනයට පිවිසීම තම බලාපොරොත්තුව බවද ඒ මහතා පැවසීය.

"මීට අවුරුදු 31කට පමණ පෙර අහම්බෙන් මම දේශපාලඥයෙක් වුණේ. මගේ සීයා හිටියා බණ්ඩාරනායක මහත්තයාගේ සෙනෙට් එකේ. මට කෙහෙළිය කියලා නම තිබ්බේ බණ්ඩාරනායක මහත්තයා. මට ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන්නට මට කිසිම වුවමනාවක් තිබ්බේ නැහැ. මම හොඳ සාර්ථක ව්‍යාපාරිකයෙක්".

"දේශපාලනය කළත් නැතත් උදව්කරන්න අවස්ථාවක් ලැබෙන ඕනෑම වෙලාවක කිසිම පසුබෑමක් නැතුව මට කථා කරන්න, මම ඉන්නවා. ඒක හිස් වචනයෙන් කියන දෙයක් නෙමෙයි හදවතින් කියන්නේ".   

කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය අමාත්‍ය, විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, සෞඛ්‍ය අමාත්‍ය සහ පරිසර අමාත්‍යවරයා ඇතුළු විවිධ අමාත්‍ය ධූරවල කටයුතු කර ඇත.