මාරක රිය අනතුරු දෙකක්

මාරක රිය අනතුරු දෙකක්

October 7, 2024   08:04 am

දිවයින පුරා සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (06) දිනය තුළ මෙම අනතුරු සිදුවූ බවයි.

ඒ අනුව, ගණේමුල්ල පොලිස් වසමේ මෝල හන්දිය නුගවෙල අතුරු මාර්ගයේ දී ලොරි රථයක් රියදුරු විසින් පසුපසට ධාවනය කළ අවස්ථාවේදී මාර්ගය අයිනේ ගමන් කළ කාන්තාවකගේ ගැටී සිදුවූ අනතුරින් එම කාන්තාව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 88ක් වූ බොල්ලත, ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ අතර, හංවැල්ල පොලිස් වසමේ කළුඅග්ගල ලබුගම මාර්ගයේ පැල්පොල ප්‍රදේශයේදී කළුඅග්ගල දෙස සිට ලබුගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් අසල තිබූ බොක්කුවක් තුළට වැටී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදි පැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 19ක් වූ පිලියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිදුවූ අනතුරු සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.