ලාල්කාන්තගේ ප්‍රකාශයට සජබයෙන් පිළිතුරු

ලාල්කාන්තගේ ප්‍රකාශයට සජබයෙන් පිළිතුරු

October 4, 2024   06:38 pm

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා ලෙස ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ ජනතාව වර්තමානයේ පවා ප්‍රතිලාභ භූක්ති විඳිමින් සිටින බව සමගි ජන බලවේගය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කර ඇත්තේ, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

කේ.ඩි. ලාල්කාන්ත මහතා ඊයේ (03) ප්‍රකාශයක් සිදුකරමින් පවසා ඇත්තේ, "සජිත් ප්‍රේමදාස නාමික විපක්ෂ නායකවරයෙකු මිස, විපක්ෂ නායකකමක් පහුගිය කාලෙවත් කළේ නැහැ" යනුවෙනි.

ඊට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් ගිෂාන් විජේසුන්දර මහතා අද (04) නිවේදනයක් නිකුත් කර තිබුණි.

ලාල්කාන්ත මහතාගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන එම නිවේදනයේ සඳහන්ව තිබුණේ, විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ සේවයෙන් ප්‍රතිලාභ ලබන්නේ ඔහුට ඡන්දය දුන් ජනතාව නොව උපන්, නූපන් දරුවාගේ සිට මේ රටේ ලක්ෂ 220ක් වූ සෑම පුරවැසියෙකුම බවය.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.