ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනය සලිත වෙයි 

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ලෙබනනය සලිත වෙයි 

October 4, 2024   03:17 pm

ලෙබනනයේ හිස්බුල්ලා මර්මස්ථාන ඉලක්ක කරමින් ඊශ්‍රායලය දකුණු බීරුට් වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ලකර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඊශ්‍රායල - හිස්බුල්ලා යුද ගැටුම් ආරම්භයෙන් පසුව ලෙබනනයට එල්ල වූ ප්‍රහාරවලින් මේ වනවිට මියගොස් ඇති පිරිස දෙදහසකට ආසන්න බවය.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් උද්ගතව ඇති අස්ථාවරත්වය තවත් තීව්‍ර කරමින් ඊයේ (03) රාත්‍රියේත් ඊශ්‍රායලය, දකුණු බීරූට් වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබුණි.

ප්‍රංශයේ සිට පැමිණි ගුවන් යානයක් ගොඩබෑමෙන් සුළු වේලාවකට පසු බීරූට් ගුවන්තොටුපොළ ආසන්නයටත් ප්‍රහාර එල්ල වී තිබුණි.

හිස්බුල්ලා මර්මස්ථාන පිහිටා ඇතැයි පැවසෙන දහියේ නගරය ඊශ්‍රායලයේ මූලික ඉලක්කය වී ඇති බව සඳහන් ය.

විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ විධායක කවුන්සිලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන හෂේම් සෆිදීනි ඝාතනය කිරීම මේ වනවිට ඊශ්‍රායලයේ මූලික අරමුණ වී ඇති බවය.

ඒ අනුව හිස්බුල්ලා බුද්ධි අංශ ප්‍රධාන මූලස්ථානයට අයත් ගොඩනැගිලි ඉලක්ක කර ප්‍රහාර එල්ලකළ බව ඊශ්‍රායලය පවසයි.

ලෙබනනයට ඊයේ (03) දිනයේ එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 37 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලබා ඇති පිරිස සියයකට අධික ය.

ඒ අනුව ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් ආරම්භවූ 2023 ඔක්තෝබර් 7 වනදා සිට හිස්බුල්ලා ඉලක්ක කරමින් ඊශ්‍රායලය, ලෙබනනයට එල්ල කළ ප්‍රහාරවලින් මේ වනවිට මියගොස් ඇති පිරිස ළමයින් 127ක් ඇතුළුව දෙදහසකට ආසන්න වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පැය 24ක් තුළ සෞඛ්‍ය සේවකයින් 28 දෙනෙකු මියගොස් ඇති බවයි.

මේ අතර ඊශ්‍රායලය, පලස්තීන බටහිර ඉවුරේ තුල්කාම් හි සරණාගත කඳවුරක් වෙත ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් තිබේ.

ඊශ්‍රායලය පැවසුවේ තමන් සිවිල් වැසියන් ඉලක්ක කරන බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් තමන්ගේ ඉලක්ක කර ඇත්තේ හමාස් ගොඩනැගිලි බවත් ය.

වසර 20කින් පමණ පසුව ඊශ්‍රායලය ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් බටහිර ඉවුරේ ඉලක්ක කළ පළමු අවස්ථාව මෙය ලෙස විදෙස් වාර්තා සඳහන් කර තිබේ.