ඇමති විජිත කළ ප්‍රකාශයට රනිල් පාර්ශ්වයෙන් ප්‍රතිචාර

ඇමති විජිත කළ ප්‍රකාශයට රනිල් පාර්ශ්වයෙන් ප්‍රතිචාර

October 3, 2024   08:56 pm

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ ජනාධිපති මුක්තිය හේතුවෙන් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු පිළිබඳ නෛතික කටයුතු ඉදිරියට ගෙන නොගිය බවට වත්මන් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශයක් සිදු කළේය.

එම ප්‍රකාශය සාවද්‍ය බව හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී තිබේ.

බැඳුම්කර චෝදනාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්බන්ධයක් නොමැති බව ඒ පිළිබඳ සොයාබැලීමට පත්කළ කොමිෂන් සභාව විසින්ම තහවුරු කරමින් ඔහුව නිදහස් කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් ය.

අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය අඟහරුවාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මහ බැංකු බැඳුම්කර චෝදනාවට අදාළව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශයක් සිදු කළේය.

"රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් ජනාධිපතිවරයා නෙමෙයි. ඒ නිසා මුක්තිය නැහැ. දැන් අපිට එතුමාව අධිකරණය හමුවට කැඳවන්න බලය තියෙනවා. අපි ඉස්සරහට බලමු ඒකේ ක්‍රියාමාර්ග".

මීට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එවක ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

එහි දැක්වෙන්නේ,

එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැඳුම්කර ගනුදෙනුව විභාග කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කළ අතර, ඉන් අනතුරුව 2015 පෙබරවාරි 27 වනදා සිදුකළ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කරන ලදී. 

ඉන් අනතුරුව එවකට විනිසුරුවරුන් ලෙස කටයුතු කළ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගෙන් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් සිදු කළ අතර, එහිදී එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් සාක්ෂි ලබා දුනි.

මෙහිදී අවධාරණය කළ යුතු වැදගත් කරුණක් වනුයේ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් යම් පරීක්ෂණ පැවැතිය ද, මහ බැංකුව විසින් එම සමාගමේ රුපියල් බිලියන 12ක මුදලක් රඳවාගෙන ඇති බවය. 

එබැවින් ශ්‍රී ලංකා රජයට කිසිඳු මූල්‍යමය අලාභයක් සිදුවී නොමැති බව තහවුරු විය. 

එම කොමිෂන් සභාව විසින්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කරමින් නිදහස් කළේය.

කෙසේවුවත් මේ සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයා පුද්ගලයන් 10 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනුකළ අතර මෙම නඩුව ගරු චමත් මොරායස්, ගරු දමිත් තොටවත්ත සහ ගරු එච්. නාමල් බණ්ඩාර බලල්ලේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ දී විභාගයට ගැනුණි.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සියලුම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරුණි.

එවැනි පසුබිමක වගකිවයුතු අමාත්‍යවරයකු සහ කැබිනට් ප්‍රකාශක ලෙස දැන හෝ නොදැන සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීම නුසුදුසු බව කාරුණිකව දැනුම් දෙමි.