තම දෑතින්ම අලුත්වැඩියා කළ බස් රථයට යටවී සිසුවෙක් මරුට

තම දෑතින්ම අලුත්වැඩියා කළ බස් රථයට යටවී සිසුවෙක් මරුට

October 3, 2024   05:33 pm

මෝටර් රථ තාක්ෂණ ශිල්පය හදාරමින් සිටි සිසුවෙක් ඔහු පුහුණු වූ බස් රථයටම යටවී මරණයට පත්වූ පුවතක් ආණමඩුවෙන් වාර්තා වෙයි.

ආණමඩුව කාර්මික විද්‍යාලයේ මෝටර් රථ තාක්ෂණ ශිල්පය පාඨමාලාව හදාරමින් සිටි සිසු‍වෙකු අදාළ පුහුණුවීම්වලට යොදා ගත් බස් රථයටම යටවී බරපතළ ලෙස තුවාල ලබා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (03) දින මරණයට පත්වූ බව ආණමඩුව පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ, ආණමඩුව මහ උස්වැව ප්‍රදේශයේ පදිංචි චාමික ප්‍රභාත් ප්‍රනාන්දු නමැති 17 හැවිරිදි සිසුවෙකි.

අදාළ බස් රථය කාර්මික විද්‍යාල භූමියේ තබා අලුත්වැඩියා (වයරින්) කටයුත්තක් සඳහා යොමුකර වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිටියදී එයට හදිසියේ නැඟීමට ගොස් ලිස්සා යාමෙන් මෙම සිසුවා බිම ඇඳවැටී ගමන් කරමින් තිබූ බස් රථයටම යටවී තිබුණි.

බරපතළ ලෙස තුවාල ලැබූ සිසුවාව ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

දැඩි ආර්ථීක අපහසුතා මැද ජීවිතය ජයගැනීමේ අරමුණින් කටයුතු කළ වාමික සිය පවුලේ බර කරටගත් වැඩිමහල් දරුවා විය.

ස්ථිර රැකියවක් නොමැති ඔහුගේ පියාත්, රෝගාතුරව සිටින ඔහුගේ මවත්, බාල සොහොයුරාවත් රැකබලා ගනිමින් චාමික කුලී නිවසක දිවි ගෙවා තිබුණි.

චාමික මෝටර් රථ තාක්ෂණ ශිල්පය මැනවින් හදාරමින් එහි සුවිශේෂී දක්ෂතා දැක්වූ සිසුවෙකු බව කාර්මික විද්‍යාලයේ ගුරුවරුන් පවසන අතර ඔහුගේ දක්ෂතා නිසාම එම පාඨමාලාව අවසන් වීමෙන් පසු ඔහු එම ආයතනයේම රැකියාවක් සඳහා බඳවා ගැනීමටද සැලසුම් කර තිබූ බව පැවසෙයි.

විවිධ අවස්ථාවලදී තම දෑතින්ම අලුත්වැඩියා කරන ලද බස් රථයටම යටවී මෙලෙස ජීවිතයට සමුදීමට චාමිකට සිදුවීම හද කම්පා කරවන සිදුවීමකි.

මෙම අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර බස් රථය ආණමඩුව පොලීසිය භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.