ශ්‍රී ලංකා රග්බි පොඩ්ඩෝ ආසියානු ශූරතාවයේ කඩඉමක් අබියස

ශ්‍රී ලංකා රග්බි පොඩ්ඩෝ ආසියානු ශූරතාවයේ කඩඉමක් අබියස

September 28, 2024   04:40 pm

මැලේසියාවේ දී අද (28) ආරම්භ වූ ආසියානු වයස 18න් පහළ සත්සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගය පෙනෙන මානය දක්වා ඉදිරියට යාමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත් විය.

තරග ආරම්භ කරමින් ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ පළමු තරගයෙන් තායිලන්තය ලකුණු 27-0ක් ලෙසින් පහසුවෙන් පරාජය කළේය.

ඉන් අනතුරුව ඔවුන් මුහුණ දුන් දෙවැනි තරගයෙන් චීන තායිපේ කණ්ඩායම ලකුණු 29-7ක් ලෙස පරාජය කිරීමට සමත් විය.

එමෙන්ම අතිශය තීරණාත්මක තරගය වූ ප්‍රබල හොංකොං රාජ්‍යයට එරෙහි තරගයද ලකුණු 17-17ක් ලෙසින් සම තත්ත්වයෙන් අවසන් කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

ඒ අනුව ශ්‍රී ලංකාව හෙට (29) දිනයේදී එක් තරගයකට පමණක් ක්‍රීඩාකිරීමට ඉතිරිව ඇති වුවත්, එම තරගය නිතරග අවස්ථාවක් (BYE) වී ඇත.

මෙම තරගාවලිය 'ඒ' හා 'බී' ලෙස කණ්ඩායම් 9ක සහභාගිත්වයෙන් පැවැත්වේ. 

එහි ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන 'බී' කාණ්ඩයට රටවල් 04ක් පමණක් ඇතුළත්ව ඇති නිසා එම කාණ්ඩයේ සෑම රටකටම නිතරග අවස්ථාවක් හිමිව ඇත.

ශ්‍රී ලංකාව සමගින් 'බී' කාණ්ඩයෙන් හොංකොං, චීන තායිපේ හා තායිලන්තය ක්‍රීඩාකරනු ලබයි.

'බී' කාණ්ඩයේ මේ දක්වා පැවති තරග අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටියි.

ඒ අනුව හෙට (29) පැවැත්වෙන තායිලන්ත - හොංකොං තරගයේ ප්‍රතිඵලය මත මෙම කාණ්ඩයෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය වේ.

මෙහි 'ඒ' කාණ්ඩයට එක්සත් අරාබි එමීර්, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාව හා සෞදි අරාබිය ඇතුළත්ව ඇත.

සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් දෙක පමණක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

එමෙන්ම සෑම ප්‍රසාද ලකුණු සටහනකම දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම් දෙකට 3වන හා 4වන ස්ථාන වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වේ.