ඡන්දය ප්‍රකාශ කිරීමට මෙයින් එකක් ප්‍රමාණවත්

ඡන්දය ප්‍රකාශ කිරීමට මෙයින් එකක් ප්‍රමාණවත්

September 21, 2024   07:19 am

අද (21) පැවැත්වෙන 2024 ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබේ.

ඒ අනුව,

* ජාතික හැඳුනුම්පත
* වලංගු විදේශ ගමන් බලපත්‍රය 
* වලංගු රියදුරු බලපත්‍රය
* රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත
* වැඩිහිටි හැඳුනුම්පත
* පූජ්‍ය / පූජක හැඳුනුම්පත
* ජාතික හැඳුනුම්පතෙහි තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
* ආබාධිත පුරවැසියන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත
* මැතිවරණ කොමිෂන් සභාව අනෙකුත් පුද්ගලයින්ට නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත

යන පිළිගත් ලියවිලි 9 අතරින් ඕනෑම එකක් ඉදිරිපත් කිරීමට හැකියාව තිබේ. 

ඡන්දපොළට යන ඔබ, මෙවර ජනාධිපතිවරණයේ දී නිවැරදිව ඡන්දය භාවිත කරන්නේ කෙසේ ද?

අපේක්ෂකයින් 39 දෙනෙකුගේ නම් සහ ඡන්ද සලකුණු ඇතුළත් ඡන්ද පත්‍රිකාවේ යම් අපේක්ෂකයෙකු ඉදිරියේ ඇති කොටුවේ එක් කතිරයක් පමණක් යෙදීම, ඡන්දය භාවිත කළ හැකි වලංගු ක්‍රමයකි.

අපේක්ෂකයින් තිදෙනෙකුට මනාප ප්‍රකාශ කරන්නේ නම් ඒ සඳහා කතිරය භාවිත නොකර අදාළ අපේක්ෂකයින් ඉදිරියේ අංක 1, 2 හෝ 3 පමණක් සලකුණු කළ යුතුය.

මනාප ප්‍රකාශ කිරීමේදී එක් අපේක්ෂකයකුට පමණක් මනාප සලකුණු කරන්නේ නම් අංක 1 යෙදීම ප්‍රමාණවත් වන අතර දෙදෙනෙකුට මනාප සලකුණු කරන්නේ නම් අංක 1 සහ 2 පමණක් යෙදීම වලංගු වනු ඇත.

ඡන්දය ප්‍රකාශ කිරීමට යාමේදී ඡන්ද මධ්‍යස්ථානයට ජංගම දුරකතනය රැගෙන යාම තහනම් කර තිබේ.