අලුත්ම iPhone  මාදිලිය වෙළෙඳපොළට

අලුත්ම iPhone මාදිලිය වෙළෙඳපොළට

September 10, 2024   10:08 am

ජංගම දුරකථනයක උපරිම අත්දැකීමක් ලැබීමට නම් iPhone ජංගම දුරකථනයක් සතු විය යුතුය යන්න ලොව පුරා පැතිරුණු මතයක් පමණක් නොවෙයි.

ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් කළේය.

බොහෝදෙනා බලාපොරොත්තුව සිටි නව කෘත්‍රීම බුද්ධි මෘදුකාංගයකින් සමන්විත iPhone 16 ස්මාට් ජංගම දුරකථන පෙළ දියත් කිරීම අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ කුපර්ටිනෝහි ඇපල් සමාගමේ මූලස්ථානයේදී සිදුකෙරුණි. 

ඇපල් සමාගම නිවේදනය කළේ iPhone 16 යනු කෘත්‍රිම බුද්ධිය භාවිතය සඳහා නිර්මාණය කරන ලද පළමු මාදිලිය මෙය වන බවය.

ඇපල් සමාගම විසින් ඊයේ iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro සහ iPhone 16 Pro Max ලෙස මාදිලි කිහිපයක් වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදි.

අමෙරිකාවේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළේ 52%ක පමණ ප්‍රමාණයක් iPhone සතුය.

පසුගිය වසර අවසන් වනවිට ලොව පුරා iPhone භාවිත කරන්නන් කෝටි 146ක් සිටි බව වෙළෙඳපොළ දත්ත මගින් පෙනී යයි.

මේ වසර අවසන් වනවිට එම සංඛ්‍යාව කෝටි 156 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

ගෝලීය ස්මාට් ජංගම දුරකථන වෙළෙඳපොළෙන් 22%කට ආසන්න ප්‍රතිශතයක් හිමිව තිබෙන්නේ ඇපල් සමාගම නිපදවන iPhone දුරකථනවලට ය.

එහෙත් iPhone වලට එල්ල වුණු චෝදනාවක් වන්නේ එම ස්මාට් ජංගම දුරකථවල AI නැත්නම් කෘත්‍රීම බුද්ධි මෘදුකාංග යාවත්කාලීන කිරීම පමාවීම.

ඇපල් වගේම ලොව පුරා තාක්ෂණ සමාගම් විශේෂයෙන් දුරකථන නිෂ්පාදන සමාගම් තම නිෂ්පාදනවලට AI තාක්ෂණය හොඳින් අනුගත කිරීම සඳහා දැන් තියුණු තරගයක නිරතවනවා කිව්වොත් නිවැරදි ය.

iPhone අලෙවිය යම් ආකාරයක පහත වැටීමක් පෙන්නුම් කරන අවස්ථාවක මේ ආකාරයට AI අනුගත නව iPhone පෙළ දියත් කිරීම ඇපල් සමාගම දැඩි අපේක්ෂාවෙන් සිටි බව නොරහසකි. 

නව AI මෘදුකාංගය සහිත iPhone පෙළ කුතුහලය දනවන නව යුගයක ආරම්භය වනු ඇති බව ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් සඳහන් කළේය. 

iPhone 16වල වැඩි දියුණු කළ AI මෘදුකාංගයට දුරකථනයේ කැමරාවට හසුවන දෑ වටහා ගැනීමට සහ හඳුනාගැනීමට හැකිවෙන බවත් ඇපල් සමාගම සඳහන් කළේය.