මහනුවර නගරයෙන් ක්ෂය රෝගීන් 50ක් හමුවෙයි

මහනුවර නගරයෙන් ක්ෂය රෝගීන් 50ක් හමුවෙයි

August 27, 2024   04:05 pm

මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා මහනුවර නගරයෙන් ක්ෂය රෝගීන් 50ක් හඳුනාගත් බව මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පවසයි. 

මහනුවර නාගරික සීමාව තුළ ප්‍රධාන බෝ වන රෝග තර්ජනය ඩෙංගු නොව ක්ෂය රෝගය බවද හෙතෙම කියා සිටියේය.

ඩෙංගු රෝගීන් දින 06ක් ඇතුළත හඳුනාගැනීම සහ ප්‍රතිකාර සඳහා යොමු කිරීම සිදු කෙරුණ ද ක්ෂය රෝගීන් මාස 06ක කාලයක් තුළ හඳුනාගත නොහැකි වන බවද මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පැවසීය.

නිතර පවතින කැස්ස, සෙම, සිරුරේ අප්‍රාණික භාවය, කෑම අරුචිය ආදී රෝග ලක්ෂණ පවතින පුද්ගලයන් ඒ සඳහා කෙටි කාලීන ප්‍රතිකාර සඳහා යොමුවීම තුළින් ඍජුව ක්ෂය රෝගයට ප්‍රතිකාර නොලැබෙන බවත් රෝගය තවදුරටත් ව්‍යාප්තවීමට ඉඩ ඇති බවත් වෛද්‍ය ජයසිංහ මහතා තවදුරටත් කියා සිටියේය. 

දැනට මහනුවර නගරය ආශ්‍රිතව ක්ෂය රෝගී තත්ත්වය බහුලව පවතින බැවින් හැකි තරම් ආරක්ෂිතව සිටීමට වගබලා ගැනීමට ජනතාව දැනුවත්විය යුතු බවද මහනුවර ප්‍රධාන නාගරික වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා පැවසීය.