කායික දුබලතා ඇති අයට මැතිවරණ කොමිසමෙන් විශේෂ පහසුකමක්

කායික දුබලතා ඇති අයට මැතිවරණ කොමිසමෙන් විශේෂ පහසුකමක්

August 27, 2024   01:44 pm

කායික දුබලතාවෙන් යුතු තැනැත්තන් විසින් විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කළ හැකි ක්‍රමවේදය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව ඡන්දදායකයින්ව දැනුම්වත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්.එම්. ඒ. එල්. රත්නායක මහතා මේ බව සඳහන් කර ඇත.

- උපුටා ගැනීම -  

01. 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 82 (4) (ඈ) ඡේදය අනුව, යම් කිසි කායික දුබලතාවයක් නිසා යම් තැනැත්තෙකුට පා ගමනින් හෝ වෙනත් පොදු ප්‍රවාහන සේවාවක් මඟින් ඡන්ද පොළට යාම සහ ඊම කළ නොහැකි නම් ඡන්ද පොළට යාම සහ ඊම සඳහා යම් වාහනයක් මඟින් ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා ස්වකීය ඡන්ද විමසීම් ප්‍රදේශයේ තේරීම්භාර නිලධරයා වෙත තමා විසින්ම හෝ එසේ නොමැති නම් තමා වෙනුවෙන් අපේක්ෂකයකු, ඡන්ද නියෝජිතයකු, බලයලත් නියෝජිතයකු, ප්‍රාදේශීය නියෝජිතයකු නොවන වෙනත් අයකු විසින් හෝ ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ හැකිය.

02. මෙම පහසුකම් සඳහා වු අයදුම්පත්‍ර, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය ඡන්ද විමසීම් දිනයට දින හතකට පෙර, එනම් 2024 සැප්තැම්බර් 14 වන දින හෝ ඊට පෙර අදාළ තේරීම්භාර නිලධාරී (දිස්ත්‍රික් ලේකම්/ දිසාපති) හෝ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස් (දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය) වෙත ඉදිරිපත් කළ යුතු වේ.

03. අයදුම්පත්‍රය ඉදිරිපත් කරන තැනැත්තා, තමාට පොදු වාහනයකින් හෝ පයින් ඡන්ද පොළට යාම් ඊම් කිරීමට නොහැකි බව තහවුරු කරමින් ලියාපදිංචි වෛද්‍යවරයකුගෙන් (බටහිර හෝ දේශීය) ලබා ගත් වෛද්‍ය සහතිකයක් මඟින් සිය අයදුම්පත සනාථ කරන්නේ නම් තීරණයක් ගැනීමේ දී එය තේරීම්භාර නිලධාරීට මහත් පහසුවක් වනු ඇත. තමා පරීක්ෂා කර බලා සහතිකයක් නිකුත් කරන ලෙසට එබඳු තැනැත්තෙකු රජයේ වෛද්‍යවරයකුගෙන්, ලියාපදිංචි හෝ සහකාර සහකාර වෛද්‍ය වෘත්තිකයකුගෙන් හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් ඔහුට වෛද්‍ය සහතිකයක් ලබා ගත හැකි ය. පෞද්ගලික වෛද්‍යවරුන්ගෙන් (බටහිර හෝ දේශීය) ලබා ගන්නා සහතිකවල එම වෛද්‍යවරයාගේ නම සහ ලියාපදිංචි කළ අංකය සඳහන් කළ යුතු ය.

04. මැතිවරණ කොමිෂන් සභාව විසින් චලනාබාධිත හා දෘෂ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් නිකුත් කරනු ලබන වසර 10ක් වලංගු තාවකාලික හැඳුනුම්පත්හිමි පුද්ගලයන් වෛද්‍ය සහතිකය ලබා ගැනීම අවශ්‍ය නොවේ.

- උපුටා ගැනීම අවසන් -