ගසේ පැලක රාත්‍රිය ගතකළ තුන් නිවුන් දරුවන්ට හන්තාන හිමි මූලිකත්වයෙන් අලුත් නිවසක්

ගසේ පැලක රාත්‍රිය ගතකළ තුන් නිවුන් දරුවන්ට හන්තාන හිමි මූලිකත්වයෙන් අලුත් නිවසක්

August 22, 2024   07:27 pm

හරිහමන් නිවහනක් නොමැති නිසා තම අලුත උපන් තුන් නිවුන් දරුවන් සමග ගසක් මත ඉදිකළ පැලක රාත්‍රිය ගත කළ මව්පිය යුවළකට අද (22) නව නිවසක් පරිත්‍යාග කෙරුණි.

අද දෙරණ වාර්තාකරණයේ ප්‍රතිඵලයක් ලෙස හන්තාන සඳගිරි සෑ හිමියන්ගේ මූලිකත්වයෙන් පරිත්‍යාගශීලීන්ගේ ද දායකත්වය ඇතිව එම නිවස ඉදිකිරීමට හැකිවී තිබුණි.

එම අවස්ථාවට හන්තාන සඳගිරි සෑ හිමියන් සමග දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී/විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතා ඇතුළු දෙරණ කාර්යයමණ්ඩලයත් එක්වුණි. 

කටු මැටිපැලක් කිරි සුවඳින් පිරවූ හබරණ පුවක්පිටිය තුන් නිවුන් දරුවන් පිළිබඳ පුවත අද දෙරණ වාර්තා කළේ ඉකුත් මැයි 15 වනදාය.

එහි සංවේදී කරුණ වූයේ තවත් දියණියක්ද සිටින මේ මව්පිය යුවළට අලුත උපන් තුන් නිවුන් දරුවන් හට නිසි රැකවරණය සැලසීමට සුදුසු නිවහනක් නොමැතිවීම ය.

ඝන කැලෑවකින් වටවුණු පැල්පතට ආරක්ෂාවක් නොමැති නිසා රැය පහන් කරන්නට පුංචි පැටවුන් රැගෙන මාපිය යුවළ ගොඩවන්නේ ගසක් මත තැනූ පැළකටය. 

අද දෙරණ මෙම පුවත වාර්තා කර පැය 24ක් ගතවීමටත් පෙර මේ පුංචි පවුලට හිසට සෙවණක් ඉදිකර දීමට බුද්ධ පුත්‍රයණ්වහන්සේ නමක් මුල් පියවර තැබීය. 

ඒ, හන්තාන සඳගිරි සෑ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ය. 

මේ පුංචි දරුවන් සිව්දෙනා සමඟ නොතෙමී දිවිගෙවන්නට ඔවුන්ට නිවහනක් සකස් කරදීමට උන්වහන්සේ මූලිකත්වය ගත්තේ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ නොමසුරු දායකත්වයද ලබාගනිමිනි.

ඒ අනුව රුපියල් ලක්ෂ 20ක වටිනාකමින් යුතු නිවස තෙමසක් ගතවීමටත් පෙර ඉදිකර අවසන් කිරීමට හන්තාන සඳගිරි සෑ හිමියන්ට හැකිවුණි.

එම අප්‍රතිහත ධෛර්යයෙන් ඉදි කෙරුණු නව නිවහන මෙම පුංචි පවුලට දායාද කෙරුණේ අද දිනයේදීය.

ඔවුන් මෙතෙක් ජීවත්වූ කටුමැටි පැල්පතේ පානීය ජල පහසුකම් හෝ විදුලියවත් නොමැත. 

මෙම නිවුන් දරුවන්ගේ පියා ගස මත ඉදිකළ පැළෙන් බිමට වැටී ආබාධයකට පවා ලක්වී ඇත.

දරුවන්ගේ පියා සඳහන් කළේ, "ලක්ෂ 80කට ළම‍යින්ව ඉල්ලුවා... ලක්ෂ 80ක් නෙමෙයි කෝටි ගාණක් දුන්නත් මගේ ළමයින්ව දෙන්නේ නැහැ." යනුවෙනි. 

හන්තාන සඳගිරි සෑ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ,

"මේ පුවත අපි දැනගත්තේ දෙරණ මාධ්‍ය ආයතනයෙන්. තරුණ භික්ෂුවක් ලෙස සමාජයට යම් කර්ත්‍යයක් කරනවා නම් ඒ කටයුත්තේදී ප්‍රධානම ශක්තිය තමයි දෙරණ මාධ්‍ය ආයතනය."

පළුගස්වැව ප්‍රාද්ශීය ලේකම් සුජීව විජේරත්න,

"මේක විශේෂ වෙන්නේ... තුන් නිවුන් දරුවන් වෙනුවෙන් මෙම නිවස ඉදිවීම නිසා. මේ වගේ උදව්වක්... අවස්ථාවක් ලැබෙන්නේ ඉතාම අඩුවෙන්."  

පුවක්පිටිය ග්‍රාම නිලධාරී එස්.එම් දිලානි ලක්ෂිකා,

" මේ වගේ අවස්ථාවක් සඳහා අපිටත් දායක වෙන්න ලැබීම ගැන සතුටුයි. දරුවන් ලැබෙන්න දවස් කිහිපයකට කලිනුත් අපි ආවා. මේ පවුලට ලබාදුන් නිවස ඔවුන්ගේ ජීවිතවලට ගොඩාක් ලොකු සහනයක්."

දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී / විධායක අධ්‍යක්ෂ මාධව මඩවල,

"ජනතාව වෙනුවෙන් මාධ්‍යයෙන් යම්කිසි සේවයක් කරන්න අපි සෑම විටම උත්සාහ කරනවා. අද ඇත්තටම අපිට නිහතමානී සතුටක්... ආඩම්බරයක් තිබෙනවා."