ගංවතුර ගැන දැනුම්දීමක් 

ගංවතුර ගැන දැනුම්දීමක් 

August 22, 2024   06:20 pm

දින කිහිපයක් පුරා ඇද හැලුණු වර්ෂාවේ අඩුවීමක් මේ වනවිට දැකගැනීමට හැකිවුවත්, පැවති අවදානම් තත්ත්වය තවමත් එලෙසින්ම පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසා සිටියි.

දිවයිනේ නවතම තත්ත්වය පිළිබඳ යාවත්කාලීන කිරීමක් සිදුකරමින් වාරිමාර්ග ඉංජිනේරු (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) ජී. ඩබ්. ඒ. සකුරා දිල්තාරා මහත්මිය අද (22) පස්වරුවේ පවසා සිටියේ කළු,  ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණීන්ගේ ගංවතුර අවදානම තවමත් පවතින බවයි.

පවතින තත්ත්වය පිළබඳ වැඩිදුරටත් පැහැදිලි කළ දිල්තාරා මහත්මිය, 

"දින කිහිපයක් පුරාවට පැවති කළු,  ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණීන්ගේ මෙන්ම කළු ගඟෙහි උප ද්‍රෝණියේ ගංවතුර අවදානම තවමත් පවතිනවා. නමුත් අද දිනයේ සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම නිසා එහි ජල මට්ටම තව දුරටත් ඉහළ යාමකින් තොරව ජල මට්ටමේ අඩුවීමක් අපේක්ෂා කරනවා. කෙසේ නමුත් ඉදිරි දිනය තුළත් පහත්බිමවල ගංවතුර තත්ත්වය පවතීවි. පවතින වර්ෂා රහිත කාලගුණ තත්ත්වයත් සමග මෙම තත්ත්වය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

එමෙන්ම කළුතර කුඩා ගංඟාවේ පහත්බිම් ආශ්‍රිතව මාර්ග තවමත් ජලයෙන් යටවී පවතිනවා. එමනිසා එම මාර්ග භාවිතයේදී රථ වාහන රියදුරන් දැඩි අවධානයක් යොමුකළ යුතුය. ගිං ගඟෙහි බද්දේගම හා ඉන් පහත් ප්‍රදේශයන්හි ජල මට්ටමද ක්‍රමයෙන් බැස යෑමක් පෙන්නුම් කළත්, එම පහත්බිම් හරහා වැටී ඇති මාර්ගත් භාවිත කිරීමේදීද දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. ඒ වගේම නිල්වලා ද්‍රෝණියේ ජල මට්ටම්හි අඩුවීමක් පෙන්නුම් කළත්, තවමත් පහත්බිම් ආශ්‍රිතව ඉහළ ජල මට්ටම් වාර්තා වෙනවා".