සැමියා වෙනුවෙන් බිරිඳක් නීතියේ පිහිට පතයි

සැමියා වෙනුවෙන් බිරිඳක් නීතියේ පිහිට පතයි

July 1, 2024   04:05 pm

දෙදරු පියෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පොලිස් නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම්දුනි.

ඒ මත්ද්‍රව්‍ය පරීක්ෂා කරන බව සඳහන් කරමින් සිදු කරන ලද පරීක්ෂාවක් අතරතුරදී නාඋල ප්‍රදේශයේ පදිංචි අලුත් ගෙදර තුෂාර චන්ද්‍රරත්න පොලිස් වෙඩි පහරින් මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙනි. 

මෙම සිද්ධියට වගකිවයුතු  නාඋල පොලීසියේ සේවය කළ ඩබ්ලිව්. එම්.විජේතුංග සහ ජනක රුවන් අමරසිංහ යන පොලිස් සැරයන්වරුන්ට එරෙහිව කෲර වධ හිංසනයට එරෙහි පනත යටතේ නඩු පවරන ලෙස  නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මියගිය තැනැත්තාගේ බිරිඳ වූ දිනූෂා කුමාරි මහත්මිය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද (01) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් මහතා මෙම දැනුම්දීම සිදුකළේය.