සුසිල් ප්‍රියන්ත ජයතුංග යළි රිමාන්ඩ් කිරීමට නියෝග

සුසිල් ප්‍රියන්ත ජයතුංග යළි රිමාන්ඩ් කිරීමට නියෝග

July 1, 2024   03:40 pm

මේ වනවිට නීතිඥ භාවය අත්හිටුවා තිබෙන සුසිල් ප්‍රියන්ත ජයතුංග යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග කළේය.

නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලැබූ කරුණුවලින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි චෝදනා කොට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සුසිල් ප්‍රියන්ත ජයතුංග පසුව ඇප මත මුදාහැරුණි.

ඒ අනුව අද දිනයේ යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබුණි.

සානුකම්පිත හේතුන් සැලකිල්ලට ගෙන වගඋත්තරකරු ඇපමත මුදාහැරීමට අධිකරණය තීන්දු කළ බවත් එහෙත් ඔහු ඇප කොන්දේසි කඩ කරමින් කටයුතු කිරීම නිසා ඔහුගේ ඇපය අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් නියෝගය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

මෙම පැමිණිල්ල අද විජිත් මළල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුන් මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

නීතිඥ වෘත්තීයේ ආචාර ධර්ම උල්ලංඝනය කිරීම සහ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව වෙන් වෙන්ව චෝදනා පත්‍ර දෙකක් අධිකරණය හමුවේ ගොනු කර තිබූ අතර ඒවා විවෘත අධිකරණයේ කියවා දෙනු ලැබීය.

එම චෝදනාවලට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුට දැනුම් දුන් අතර එහිදී විත්තිකරු ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා තමන්ට කල් ලබාදෙන ලෙසය. 

එසේම මෙම චෝදනා පත්‍රයේ සිංහල පිටපතක් තමන් වෙත ලබා දෙන ලෙසත් විත්තිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සඳහන් කළේ විත්තිකරුට අදාළ චෝදනා පත්‍රය සිංහල භාෂාවෙන්ද විවෘත අධිකරණයේ ඔහුට පැහැදිලි කර දී ඇති නිසා එවැනි පරිවර්තනයක් ලබාදීමට අධිකරණය බැඳී නොමැති බවය.

කෙසේ වෙතත් අදාල චෝදනා පත්‍රයේ සිංහල පිටපතක් තිබේ නම් එය විත්තිකරුට ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙසත් විනිසුරුවරයා විසින් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට නියම කළේය.

ඉන් අනතුරුව මෙම පැමිණිලි ලබන ජනවාරි මස 27 වනෙදා කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලදි.