පොහොර සහනාධාරයට රජය ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන ගැන අලුත් තීරණයක්

පොහොර සහනාධාරයට රජය ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන ගැන අලුත් තීරණයක්

June 27, 2024   05:45 pm

මින් ඉදිරියට වී වගාව සඳහා පොහොර සහනාධාරය වශයෙන් රජය ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් ලබාදීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම්වලට බැර කිරීමේ දී ඇතැම් කුඹුරු හිමියන් තම කුඹුරු වගාකරන ගොවීන් වගා කන්නයක් පාසා වෙනස් කිරීම නිසා මුදල් ලබාදීමේ දී යම් ප්‍රමාදයන් සිදුවන බව පෙනී ගොස් ඇත.

මෙවර යල කන්නයේ දී රජය විසින් මේ වනවිට රුපියල් බිලියන 5.4ක් පොහොර මිලදී ගැනීම සඳහා ගොවි ගිණුම්වලටම ලබා දී ඇත. 

නමුත් ඇතැම් ගොවීන් තවමත් තමන්ට මුදල් නොලැබුනු බවට පැමිණිළි කර ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (27) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග මේ සම්බන්ධව සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඇතැම් කුඹුරු අයිතිකරුවන් තම කුඹුරු වගා කරන ගොවීන් කන්නයෙන් කන්නයට මාරුකිරීම නිසා ඔවුන් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ ගැටලුවක් පැන නැගී ඇති බවට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

එමනිසා මින් පසු පොහොර මිලදී ගැනීම සඳහා රජය විසින් ලබාදෙන මූල්‍යමය සහනාධාර කුඹුරු අයිතිකරුවන් සහ අඳ ගොවීන්ට පමණක් නිකුත් කරන ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස්  දුන්නේය.

මේ සම්බන්ධව සියලු ගොවි ජනතාව දැනුම්වත් කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.