උතුම් පොසොන් පොහොය අද - දෙරණාභිවන්දනා පොසොන් නමස්කාරය ඇරඹෙයි

උතුම් පොසොන් පොහොය අද - දෙරණාභිවන්දනා පොසොන් නමස්කාරය ඇරඹෙයි

June 21, 2024   07:12 am

මෙරටට බුදදහම දායාද කරමින් අනුබුදු මිහිඳු හිමිගේ ලංකා ගමනය සිදුවූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලාත් සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකක් බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම රැගෙන මිහින්තලා පව්වට වැඩම කරවීම අද වැනි පොසොන් පුර පසළොස්වක පෙහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙයි.

දේවානම් පියතිස්ස රජු ඇතුළු පිරිස චුල්ලහත්ථි පදෝපම සූත්‍රය අසා තෙරුවන් සරණ යාම සිදු වූයේද අද වැනි පොසොන් පොහොය දිනකය.

මේ අතර පොසොන් පොහෝ දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනු දැන වදාළ ධර්ම මාර්ගය මෙරට පත්වී ඇති දේශපාලන, සමාජ හා ආර්ථික ගැටළු නිරාකරණය කර ගනිමින් දියුණු රටක් ගොඩනැඟීමට ඉවහල් කරගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවය.

දේශීය පොළොව මත ආහාර නිපදවා ගනිමින් වාද භේද හා මතවාදී අසමානතා පසෙක තබා චුල්ලහත්ථි පදෝපම සූත්‍රය අනු දැන වදාළමින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ රාජ්‍ය පාලනය සකස් කිරීමට දුන් ඔවදන මෙම මොහොතේ අපේ ආදර්ශය බවට පත්කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසයි.

මේ අතර පොසොන් පොහෝ දින පණිවුඩයක් නිකුත් කරමින්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අනුව සැමට සාධාරණය ඉටුවන පාලනයක් රට තුළ ඇති කළ යුතු බවය.

"දෙරණාභිවන්දනා" පොසොන් නමස්කාරය අද දවස පුරා අනුරාධපුර රුවන්වැලි මහා සෑ පුදබිමේ සිට සජීවීව ඔබ වෙත ගෙන එනු ඇත.

සීල සමාදානය සමගින් ආරම්භ වූ පෝදා වැඩසටහන ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා මෙන්ම කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි හිමිගේ වැඩමවීමෙන් සිදුකරන ආශිර්වාද බෝධි පූජාව ඇතුළු ආගමික වැඩසටහන් රැසක් අද දවස පුරා සජීවීව ටී.වී. දෙරණින් සහ එෆ්.එම්. දෙරණින් ගෙනඑයි.

මේ අතර අද දෙරණ "සදහම් වන්දනා" පොසොන් නමස්කාරය  නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන් මූල මහා විහාරස්ථානයේ දී අද පැවැත්වෙයි.

උදෑසන 6:30 සිට අද දෙරණ 24 පැය නාලිකාව ඔස්සේ "සදහම් වන්දනා" පොසොන් නමස්කාරය සමග ඔබට එක්විය හැකිය.