පොලීසිය බලාසිටිය දීම කළුතර මැරයෝ යකා නටති

පොලීසිය බලාසිටිය දීම කළුතර මැරයෝ යකා නටති

April 26, 2024   08:21 pm

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබේ.

පහරදීම සිදුකර ඇත්තේ කළුතර, වෙනිවැල්පිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත මැර පිරිසකි.

කළුතර, වෙනිවැල්පිටිය, වෙන්දේසි වත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (25) පස්වරුවේ පැමිණි පුද්ගලයින් කිහිපදෙනෙක් එහි සිටි තරුණයෙකුට පහර දී නිවසේ දේපළවලටත් හානි කර තිබේ.

පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ, එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සුද්දා සහ රනේ නැමැති පුද්ගලයින් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ ආධාරකරුවන් කිහිපදෙනෙකුටය.

එම නිවසේ තරුණයාට පහරදුන් පිරිස පසුව ඒ ආසන්නයේ ඇති තවත් නිවසකට ගොස් එහි සිටි තරුණයින් දෙදෙනෙකුට ද පහරදීමට තැත්කර තිබේ.

නමුත් එම නිවසේ තරුණයින් දෙදෙනා සිය ජීවිත බේරාගැනීමට සමත් වුණේ ඒ අසල ඇති කැලයට පැනයමිනි. 

මේ සම්බන්ධයෙන් කළුතර දකුණ පොලීසියට දුරකථනයෙන් දැනුම් දී ඇති අතර පසුව එහි පැමිණි නිලධාරීන් මැර පිරිස සමග කතාබස් කර පිටව ගිය බවට චෝදනා එල්ල වේ.

සිද්ධියට මුහුණදුන් කාන්තාවක්,

"මුළු ගේම කුඩුපට්ටම් කරලා සර් අපේ. අපේ තාත්තාගේ ෆොටෝ එක පවා කුඩු කරලා. වයසක මහත්තුරු දෙන්නෙක් එවලා තිබුණා දකුණු කළුතර පොලීසියෙන්. පොලීසියට මම සුද්ද සිංහලෙන් කිව්වා. සුද්දාගෙන් කසිප්පු බොනවා. සුද්දා අරක්කු දෙනවා. සුද්දා ළඟට ට්‍රැෆික් බයික්වල තෙල් ගහගෙන ගිහින් සුද්දා එක්ක තමා ගනුදෙනුව. ඌ බූරු ගහනවා. ජාවාරම් කරනවා. පොලීසිය එක්ක ඌ ඉන්නේ. අපි කොච්චර ඇන්ට්‍රි දාලා තියෙනවා ද? දකුණු කළුතර පොලීසියෙන් තාම පියවරක් අරන් නෑ. කොන්ද කෙලින් තියෙන එකෙක් නෑ සර් පොලීසියේ."

මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයාගේ සුවදුක් විමසීම සඳහා නාගොඩ රෝහලට යමින් සිටි මවටද ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඇයට යතුරු පැදි හිස්වැසුම්වලින් පහර දී ඇත්තේ නාගොඩ මංසන්ධියේදීය.

ඉන් පලා ආ කාන්තාව නාගොඩ රෝහල තුළට ඇතුළු වීමට පෙර, එහි පැමිණි මැර පිරිස ඇයට තියුණු ආයුධවලින් පහර දී තිබු‍ණේ පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදීය.

ඉන් බරපතළ තුවාල ලැබූ කාන්තාව සහ නිවසේදී පහර කෑ ඇගේ පුත්‍රයාද මේ වනවිට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.

"සුද්දා කියන කෙනා 6,7 දෙනෙක් එක්ක ඇවිත් අපිට මන්නාවලින් ගැහුවා. ඔළුව බිත්තියේ හැප්පුවා. පොලුවලිනුත් අපේ ආච්චිටත් ගැහුවා. නංගිටත් ගැහුවා."

මේ සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසියට චෝදනා එල්ල වන පසුබිමක සිද්ධියේ සැකකරුවෙක් වන 'රනේ' නැමැත්තා අද (26) දහවල් එම පොලීසිය මඟින්ම අත්අඩංගුවට ගෙන තිබේ.