නව පත්කිරීම් කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

නව පත්කිරීම් කිහිපයකට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

April 26, 2024   06:43 pm

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

ඒ අනුව ඉතාලි ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.ඒ රොද්‍රිගෝ මහතා පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී ඇත.

එයට අමතරව, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ඒ.සී.එම්. න‍ෆීල් මහතා පත්කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී ඇත.

තවද ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ නව සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.ඒ.ඩී.එස් ගුණසිංහ මහතා පත් කිරීමට සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ නව සභාපතිවරයා ලෙස එන්.කේ.එස්. ජයසේකර මහතා පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට අමාත්‍යවරයන් වන රමේෂ් පතිරණ, විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් යන මහත්වරු සහභාගී වූහ.