චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සජිත්ව හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් සජිත්ව හමුවෙයි

April 25, 2024   01:22 pm

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (24) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.

දෙපාර්ශ්වය අතර සිදු වූ මෙම සුවිශේෂී සාකච්ඡාව පැයක කාලයකට පමණ සීමා වූ අතර මෙම සාකච්ඡාවට අමතරව විනාඩි 45ක කාලයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ මධ්‍යම කාරක සභාවේ උප ඇමතිනී සන් හයියන් මෙනවිය අතර පෞද්ගලික සාකච්ඡාවක් ද පැවැත්විණි.

මෙහි දී ආර්ථික, වාණිජ, ව්‍යාපාර, දේශපාලන සබඳතා යන ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව සහ චීනය අතර ව්‍යාපාර සම්බන්ධතා ගොඩනැගීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය. 

මෙහි දී චීනයේ ආර්ථික සංවර්ධන මොඩලය මෙරටට ආදේශ කර ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයෙන් ගොඩගත හැකි ක්‍රමවේදයක් සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය.

එහි දී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන් මෙරට ආර්ථිකය නැවත පණ ගැන්වීම උදෙසා නව ව්‍යාපාර සහ ව්‍යවසායකයන් මිලියනක් බිහි කිරීම සඳහා උපකාර කරන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.

එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලු‍ සම්බන්ධයෙන් ද පැමිණ සිටි දූත පිරිස දැනුවත් කරන ලදී. 

එසේම මේ වසර මැතිවරණ වසරක් බැවින් එහි වැදගත්කම ද විපක්ෂ නායකවරයා විසින් පැමිණ සිටි පිරිසව දැනුවත් කරන ලද අතර ජනතාව අපේක්ෂාවෙන් සිටින ජනතාවාදී පාලනයක් ගොඩනැගීම වෙනුවෙන් තමා ඇතුළු සමගි ජන බලවේගය සූදානම් බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.