ඉරාන ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

ඉරාන ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

April 24, 2024   03:37 pm

ඊශ්‍රායලය විසින් ඉරාන භූමියට එල්ල කරන මහා පරිමාණ ප්‍රහාරයකදී ආරක්ෂක භූමිකාව කැපී පෙනෙන ලෙස වෙනස් වනු ඇති බවත්, එහිදී ඊශ්‍රායලය මුළුමනින්ම විනාශකර දමන බවත් ඉරාන ජනපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශ කර තිබේ.

එවැනි වාතාවරණයකදී ඊශ්‍රායලයේ සියොන්වාදී රෙජීමයේ කිසිවක් ඉතිරි නොවනු ඇති බව ඔහු සඳහන් කර ඇත. 

ඉරාන නායකයා පාකිස්තාන සංචාරයේ නිරතවන අතරතුර, ඔහු මෙම ප්‍රකාශය සිදුකළ බව වාර්තාකර ඇත්තේ ඉරානයේ IRAN (ඉර්නා) රාජ්‍ය ප්‍රවෘත්ති සේවය විසිනි. 

පසුගිය සඳුදා සිට පාකිස්තානයේ තුන්දින සංචාරයක නිරත වූ ඉරාන ජනාධිපතිවරයා දෙරට අතර වාර්ෂික ද්විපාර්ශ්වික වෙළෙඳාම ඩොලර් බිලියන 10 දක්වා ඉහළ නැංවීමට ද ප්‍රතිඥාවක් ලබාදී තිබේ. 

කෙසේ නමුත් මෙම අවබෝධතා ගිවිසුම් මුල්කරගෙන පාකිස්තානයට සම්බාධක පැනවිය හැකි බවට අමෙරිකා එක්සත් ජනපදය දැනටමත් අනතුරුඅඟවා තිබේ. 

ජනාධිපති රයිසිගේ පාකිස්තාන සංචාරයේදී අවබෝධතා ගිවිසුම් 08කට ද අත්සන් තැබුණි. 

ඒ ජනාධිපති රයිසි සහ පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ඊට සාක්ෂි දරමිනි.

පාකිස්තාන සංචාරය නිම කොට ඉරාන ජනාධිපතිවරයා අද ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඉරාන සහායෙන් ඉදි කරපු උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීම එහි ප්‍රධාන අරමුණ වී ඇත. 

නැවතත් ඉරාන - ඊශ්‍රායල පසමිතුරුකම් පිළිබඳව අවධානය යොමුකළහොත් අද මැදපෙරදිග අමෙරිකානු - ඊශ්‍රායල සන්ධානයට අභියෝග කරන ප්‍රධානතම බලවතා ඉරානය බව නොරහසකි. 

පසුගිය අප්‍රේල් 13 වනදා ඉරානය ඊශ්‍රායලයට දැවැන්ත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් පසුගිය සිකුරාදා ඊශ්‍රායලය ඉරානයට කළ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකළේය.

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර මෙහෙයුම් කෙන්ද්‍රගත වී ඇති ඉස්ෆහාන් නගරයෙන් අසන්න ලැබුණු එම පිපිරීම් එතරම් බරපතළ තත්ත්වයක් නොවන බව ඉරානය ඇඟවීය.

එසේම ඊට වහා ප්‍රතිචාර දැක්වීමට අදහස් නොකරන බවත් ඉරානය ප්‍රකාශ කළේය. 

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ක්‍රියාත්මක ගාසා යුද්ධයේදී ඊශ්‍රායලයට එරෙහිව ප්‍රතිරෝධයක් දැක්වීමට ක්‍රියාකරන සන්නද්ධ කණ්ඩායම්වලට ඉරානයේ සහාය හිමිව තිබේ. 

ලෙබනනයේ හිස්බුල්ලාවරුන්, යේමනයේ හූති කැරලිකරුවන් මෙන්ම හමාස් සංවිධානයටත් ඉරාන සහාය ලැබෙන බව ප්‍රකට කරුණකි.

එහෙත් ඔක්තෝබර් 7 වැනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දැනුවත් නොකළ නිසා හමාස් සංවිධානය වෙනුවෙන් සටන් වැදිය නොහැකි බව ඉරානය යුද්ධය ආරම්භයේදී ප්‍රකාශ කළේය.  

එහෙත් සිරියාවේ ඉරාන තානාපති කාර්යාල සංකීර්ණයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය වැනි ප්‍රකෝපකාරී සිදුවීම නිසා ඉරානයට ගැටුමට යම් ආකාරයක මැදිහත්වීමක් කිරීමට සිදුව තිබේ. 

පාකිස්ථානයේ ලාහෝර් නුවරදී කළ කථාවේදී ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ප්‍රකාශ කළේ පලස්තීන ප්‍රතිරෝධයට ඉරානය ගෞරවනීය ලෙස අඛණ්ඩව සහාය පළ කරන බවය.