කොත්තු මුදලාලිට ඇප

කොත්තු මුදලාලිට ඇප

April 17, 2024   11:58 am

කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ ආහාර මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මතය.

කෙසෙල්වත්ත පොලීසිය විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අලුත් කඩේ ප්‍රදේශයේ වීථී අවන්හලකින් ආහාර මිලදී ගැනීමට පැමිණි සිටි විදේශිකයෙකුට පරුෂ වචනයෙන් බැණ වැදී හිරිහැර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළෙඳසල් හිමියෙක් කෙසෙල්වත්ත පොලීසිය විසින් ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබීය.

පොලීසිය පැවසුවේ, විදේශිකයා කොත්තු රොටියක මිල විමසූ විට වෙළෙඳසල් හිමියා රුපියල් 1,900ක් බව පවසන අවස්ථාවේදී මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග වෙළෙඳසැල් හිමියා මෙලෙස ඔහුට බැන තර්ජනය කර ඇති බවය.

මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අතර පොලීසිය එම වීඩියෝ පදනම් කරගෙන සිදුකළ මූලික විමර්ශනවලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 51 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මීට අදාළ පැමිණිල්ල මැයි මස 07 වනදා කැඳවන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.