මැදවච්චිය සිද්ධියේ පොලිස් නිලධාරීන් දෙදෙනා යළිත් රිමාන්ඩ් 

මැදවච්චිය සිද්ධියේ පොලිස් නිලධාරීන් දෙදෙනා යළිත් රිමාන්ඩ් 

April 16, 2024   06:12 pm

තරුණයෙකුට වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (16) මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීය.

එහිදී මැදවච්චිය මහෙස්ත්‍රාත් ඉමේෂා මධුභානි ධර්මදාස නියෝග කළේ, මෙම මස 24 වනදා මෙම නඩුව නැවත කැඳවන ලෙසටත් එම දිනය දක්වා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටය.

මෙම සිද්ධියට සම්බන්ධ සියලුම පරීක්ෂණ සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසත් පොලිස්පතිවරයාට නියෝග කෙරුණි.

පසුගිය 07 වෙනිදා මැදවච්චිය පොලිස්බල ප්‍රදේශයේදී මැදවච්චිය පොලීසියේ රථවාන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුගේ පහරකෑමට ලක්වී බරපතල තුවාල ලැබූ තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ශල්‍යකර්මයක් මගින් එක් වෘෂණ කෝෂයක් ඉවත් කර ඇති බව පැවසුනි.

පහරදීමට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනා අද (16) දින මැදවච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

මෙම නඩුවේ ස්වාධීන නිරීක්ෂණ කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙනී සිට තිබුණි.