ඔහොම යං, IMF ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

ඔහොම යං, IMF ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි

April 16, 2024   01:25 pm

IMF වැඩසටහන ආරම්භයේ සිට ශ්‍රී ලංකාව දැඩි කැපවීමෙන් උපයාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ඒවා ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන්නැයි එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

වොෂින්ටන් හි පැවත්වෙන වසර මැද ස්ප්‍රිං සමුළුවට සහභාගී වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

අප්‍රේල් 15 වනදා ආරම්භ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වසර මැද ස්ප්‍රිං සමුළුව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව සිටී.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ සෙසු හවුල්කරුවන් සමඟ පුළුල් ආර්ථික සහයෝගිතාවයෙන් කටයුතු කරමින් මෙරට තුළ ආර්ථික ස්ථාවරත්වය, තිරසර සංවර්ධනය හා කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා අතර ඵලදායි ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති අතර මෙරට ශක්තිමත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා විශිෂ්ට ප්‍රතිසංස්කරණ ප්‍රගතිය පිළිබඳ ඔහු ශ්‍රී ලංකා බලධාරීන්ට ප්‍රශංසාව පළ කර තිබේ.

IMF වැඩසටහන ආරම්භයේ සිට ශ්‍රී ලංකාව දැඩි කැපවීමෙන් උපයාගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ඒවා ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ද ඔහු එහිදී අවධාරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

මේ අතර, වසර මැද ස්ප්‍රිං සමුළුවට සමගාමීව ඉන්දියාව හා ශ්‍රී ලංකාව සඳහා IMF විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා ද හමුවූ මෙරට බලධාරීන් IMF දෙවැනි සමාලෝචනය අවසන් කිරීමේ මීළඟ පියවර පිළිබඳ සාකච්ඡාව පවත්වා තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සහ ආයෝජන අපේක්ෂා පිළිබඳ ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය ද වොෂින්ටන් හිදි රැස්වී සාකච්ඡාවක් පැවැත්වූවේය.

එහිදී අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය, පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය හා තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමුකරමින් සාධනීය සංවාදයක් පැවැත්වූ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ X සටහනේ සඳහන්ය.