සිඩ්නි ප්‍රහාරකයා ගැන හෙළිදරව්වක් 

සිඩ්නි ප්‍රහාරකයා ගැන හෙළිදරව්වක් 

April 16, 2024   11:21 am

සිඩ්නි නගරාසන්නයේ පිහිටි දේවස්ථානයක දී ඇසිරියානු දේවස්ථානයේ බිෂොප්වරයෙකුට සහ එහි සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුට පිහියකින් ඇනීමේ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් බව ඔස්ට්‍රේලියානු පොලීසිය පවසයි.

ආගමික අන්තවාදය මුල්කරගෙන එම පිහි ඇනුම සිදුකර ඇති බව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එරට පොලීසිය පැවසීය.

නිව් සවුත් වේල්ස් හි පොලිස් කොමසාරිස් කැරන් වෙබ් පවසන්නේ "සියලු කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව" එම නිගමනයට එළැඹි බවයි.

සැකකරු 16 හැවිරිදි, පොලීසිය දැනගෙන සිටි පුද්ගලයෙක් බවද ඇය පැවසුවාය.

එම පිහි ඇනුමෙන් බිෂොප් මා මාරි එම්මානුවෙල් ඇතුළු සිව් දෙනෙක් තුවාල ලැබීය. 

සැකකරු පිහියකින් සන්නද්ධව බිෂොප්වරයා වෙත කඩා පනින අයුරු සජීවීව අන්තරජාලය ඔස්සේ විකාශය වුණි.

ඒ එම බිෂොප්වරයාගේ දේශනය සජීවීව විකාශය වෙමින් තිබූ බැවිනි. ඒ හේතුවෙන් එම දේශනයට සවන්දෙමින් සිටි අනුගාමිකයින් එම ප්‍රහාරය දැක තිබුණි.

සුළු වෙලාවකින් බොහෝ පිරිසක් එම දේවස්ථානය අසලට රැස්වූ අතර ඔවුන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණි.

ඒ පොලීසිය බාරයේ සිටි සැකකරුව තමන්ට බාරදෙන ලෙස එම පිරිස ඉල්ලා සිටීම නිසා ය.