ලෝකෙම ආදරේ සල්මන් ලොකු අවුලක

ලෝකෙම ආදරේ සල්මන් ලොකු අවුලක

April 16, 2024   10:52 am

ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විකී සහබ් සහ සාගර් ශ්‍රීජෝගේන්ද්‍ර නමැති දෙදෙනෙකි.

ගුජරාට් ප්‍රාන්තයේ භූජ් විහාරයක සැඟව සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ඔවුන් කුප්‍රකට බිෂ්නෝයි කල්ලියට සම්බන්ධ බවට සැකපළ කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

පසුගිය ඉරිදා අලුයම 5ට පමණ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් විසින් මුම්බායි හි පිහිටි සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තබා පළාගොස් තිබුණි.

මෙම වෙඩි ප්‍රහාරයත් සමග සල්මන්ගේ ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබූ අතර නිවසින් පිටව යන්නේ නම් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙසට ද දැනුම්දී තිබුණි.

එසේම විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පවතින ජීවිත තර්ජන හේතුවෙන් සල්මන් ඛාන් හට අත්‍යවශ්‍ය කටයුතුවලට හැර සිය නිවසින් පිටතට නොයන ලෙසද ආරක්ෂක අංශ දැනුම්දී ඇති බවය.

ඉන්දියාවේ ප්‍රසිද්ධ චරිත කිහිපයක ඝාතන සිද්ධීන්වලට චෝදනා එල්ලවී සිටින කුප්‍රකට බිෂ්නෝයි කල්ලිය විසින් මීට පෙර සල්මන්හට තර්ජනය කර තිබුණි.

එසේම මෙම වෙඩිප්‍රහාරයෙන් පසුව බිෂ්නෝයි සොහොයුරෙකු අන්තර්ජාල පණිවුඩයක් නිකුත් කර තිබුණේ මෙය පෙර දැක්මක් පමණක් බවය.