බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්

බන්ධනාගාරගත සිරකරුවන්ට විශේෂ රාජ්‍ය සමාවක්

April 10, 2024   05:53 pm

2024 අප්‍රේල් මසට යෙදෙන සිංහල හා හින්දු  අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට විශේෂ රාජ්‍ය සමාවක් පිරිනමයි.

ඒ අනුව පහත සදහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම පොදු සමාව සිරකරුවන් හට ප්‍රධානය කර ඇත.

* 2024.04.13 වනදා වනවිට බන්ධනාගාරගතව දඩුවම් විඳීමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති එකක සමාවක් ප්‍රධානය කිරීම.

* දඩ මුදල් නොගෙවීම නිසා 2024.04.13 වනදා වනවිට බන්ධනාගාරගතව සිරදඬුවම් විඳීමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.

* 2024.04.13 වනදා වනවිට නියම කර ඇති සිරදඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.

* 2024.04.13 වනදා වනවිට වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවමින් වසර 20ක කාලයක් ගෙවා අවසන්කර ඇති (මහාධිකරණයෙන් සිර දඬුවම් නියමකළ දින සිට) සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.


* 2024.04.13 වනදා වනවිට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කර ඒ සඳහා (දඩ මුදල් නොගෙවීම මත නියම කර ඇති සිරදඩුවම්ද ඇතුළත්ව) පුනරුත්ථාපනයට යොමුකර ඇති සිරකරුවන්ගේ නියමකර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන්කර ඇති රැඳවියන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරණ පනත පරිදි ප්‍රජා විශෝධන නිලධාරියෙකුගේ අධික්ෂණය යටතේ ගත කිරීමට යටත්ව අහෝසි කිරීම.

බරපතළ ලෙස සැලකෙන වරදවල් 28ක් සදහා මෙම විශේෂ රාජ්‍ය සමාව හිමි නොවෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මෙම විශේෂ රාජ්‍ය සමාව ප්‍රදානය කිරීම අනුව, 2024.04.13 වනදා විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන සිරකරුවන් දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම නිදහස් කිරීමට නියමිතව ඇත.